madu-jungle

දර කැපීම සඳහා මන්නාරම මඩු රක්ෂිතයට ගොස් පැය 24කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි මන්නාරම පොලිසියේ කොස්තාපල්වරයකු ඊයේ (20) දහවල් ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සොයා ගත් බව

පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව සිට හමු ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්ත රාජකාරිකරමින් සිටි (71744) දිසානායක නමැති කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා දර කැපීමට මන්නාරම කොට්ඨාස ප්‍රවර්ධන වැඩ ඒකකයේ පොලිස් සැරයන්වරුන් තිදෙනකු හා කොස්තාපල්වරුන් දෙදෙනකු සමග ට්‍රැක්ටර් රථයකින් මඩු රක්ෂිතයේ 03 කණුව ප්‍රදේශයට පෙරේදා (19) දහවල් ගොස් ඇති බව පොලිසිය පවසයි.

පිරිස එම කටයුතු අතරතුර තේ බීමට සූදානම් වූ අවස්ථාවේ පිරිස අතර සිටි මෙම කොස්තාපල්වරයා දක්නට නොවුයෙන් ඔහු පිළිබඳව සොයා බලා ඇති බව පොලිසිය සඳහන්  කරයි. අතුරුදන්ව සිටි කොස්තාපල්වරයා සොයා ඇති නමුත් හමු නොවීම හේතුවෙන් ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.

එම දැනුම් දීම අනුව මන්නාරම, මුරුංකන්, මඩු යන පොලිස් ස්ථානවල කණ්ඩායම් යුද හමුදා හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගම්වාසීන් ඇතුළු 100 කට අධික පිරිසක් පොලිස් කොස්තාපල්වරයා සොයා මඩු රක්ෂිතයේ මෙහෙයුම් ආරම්භ කළ ද පෙරේදා රාත්‍රිය වනතෙක්ම ඔහු හමු නොවීය.

එම කණ්ඩායම් ඊයේ උදේ ද මඩු රක්ෂිතයේ මෙහෙයුම් ආරම්භ කළ අතර දහවල් 11. 00 ට පමණ පණ්ඩිවිච්චාන් ගම්මානයේ බෝක්කුවක් මත හිඳගෙන සිටිය දී ඔහු පොලිස් කණ්ඩායමකට හමුවී ඇත. පොලිස් කණ්ඩායමෙන් වෙන්ව අතරමංව සිටි කොස්තාපල්වරයා රක්ෂිතයෙන් එළියට ඒමට රාත්‍රිය පුරාම මාර්ග කිහිපයක් ඔස්සේ ගොස් දැඩි වෙහෙසකාරි තත්ත්වයෙන් ගම්මානය වෙත ළඟා වී ඇති බව ද පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක