maithri-elephant

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි තිදෙනෙකු වෙනත් පාර්ශ්වයකට පැවර්ම නීත්‍යනුකූල නොවන බව කියන සිද්ධියේ මුල් ලිපිගොනු නොමැති බව පවසමින් වගකිවයුතු නිලධාරීන්ට ඇඟ බේරාගැනීමට ඉඩනොදී නිසි ලෙස විමර්ශනය කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස්  පොලීසියට අධිකරණයේදී ඊයේ (26දා) නියම කළේය.

  මෙම සිද්ධියට අදාළව ජනාධිපති මන්දිරයේ තිබූ ලිපි ගොනුව අස්ථානගත වී ඇති බව පවසමින් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රත්වරයා එලෙස නියම කළේය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙමින් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි  අලි තිදෙනෙකු වෙනත් පාර්ශ්වයකට පැවර්ම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව දැනුම් දුන් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මුල් ලිපි ගොනුව පරිශීලනය නොකර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ දිය නොහැකි බව ඒ මහත්වරුන් පැවසූ බවත් දැනුම් දුන්නේය.

මෙහි මුල් ලිපි ගොනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට එය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බවත් එය අස්ථානගත වී ඇති බවත් ඔහු පැවසු බව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරයා මුල් ලිපිගොනු නොමැති බව පවසමින් වගකිවයුතු නිලධාරීන්ට ඇඟ. බේරාගැනීමට ඉඩනොදී නිසි ලෙස විමර්ශනය කර, ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට නියම කළේය.
‍බුද්ධිමාල් රුබේරු