ශ්රී ලාංකික ළමයින් යුරෝපයට අලෙවි කළ බව කියන මැලේසියානු අඹුසැමි යුවළක් එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුස්ලින් මහතා ප්රකාශ කර ඇත. එක් ළමයකු සඳහා මෙම යුවළ යුරෝ 30000 50000ත් (ශ්රීලංකා රුපියල් කෝටියත් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයත් අතර මුදලක් අය කර ඇති බවද මැලේසියාවේ පළවන “ද ස්ටාර්”පුවත්පත වාර්තා කර ඇත. මෙම යුවළ, විදේශ ගමන් බලපත්රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවුරුදු 12 වයස් සීමාවේ පසුවන දරුවන් සිටින මැලේසියානු දෙමාපියන්ට මුදල් ගෙවා පොළඹවා ගෙන ඇති බව රුස්ලින් මහතා ප්රකාශ කර ඇත.
එසේ දෙමාපියන් පැමිණි විට ඔවුන්ගේ දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සලකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් අනතුරුව විදේශ ගමන් බලපත්ර ලබා ගන්නා ශ්රී ලාංකික දරුවන් යුරෝපා රටවලට ජාවාරම් කර ඇති බවත් එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දටුක් රුස්ලින් මහතා පෙන්වා දී ඇත. මෙම යුවළ ශ්රී ලාංකික දරුවකු සමඟ ක්වාලාලාම්පූර් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට ඉකුත් 12 වැනිදා පැමිණ ඇති අතර එහිදී නිලධාරීන් එම යුවළගෙන් ප්රශ්න කර ඇත. ප්රශ්න කිරීමේදී යුවළ සමඟ සිටි දරුවාට මැලේසියානු භාෂාව කතා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ වයස අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන්නන් බව මැලේසියානු පොලිසිය ප්රකාශ කර ඇත.
එම අඹු සැමි යුවළ මේ වන තෙක් යුරෝපයට ශ්රී ලාංකික ළමයින් කී දෙනකු ජාවාරම් කර ඇත්දැයි සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී දැයි සෙවීම සඳහා වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මැලේසියානු පොලිසිය සඳහන් කර ඇත. මේ අතර ජාවාරම් කල්ලිය ක්රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ඔවුන්ට තවදුරටත් ජාවාරම් කටයුතු සිදුකළ නොහැකි බව එරට ආගමන විගමන අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.
විමුක්ති එස්. රුද්රිගු
0 Comments