සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති කිලෝ මීටර් 12ක් දුර මැරතන් ධාවන තරගයකට සහභාගි වූ 27 හැවිරිදි අයකු හදිසියේ රෝගාතුර වී හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යෑමේ සිද්ධියක් එම රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මියගොස් ඇත්තේ බිංගිරිය, හිරුවල්පොල දොර ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රම ආරච්චිලාගේ හිරාන් තාරුක නමැති එක් දරු පියෙකි. හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා හමුවේ මරණ පරීක්ෂණය පැවැත්විණි.
මියගිය අයගේ ඥාති සොහොයුරකු වන බඹරැන්ද ගමගේ චානක සමිත් (39) මහතා මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය. මියගොස් සිටින්නේ මගේ ඥාති සහෝදරයෙක් හිරුවල්පොල ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගයකට මල්ලී සහභාගි වුණා. ඔහුගේ සහායට යතුරුපැදියකින් ඔහු සමගම ගමන් කළා.
කිලෝ මීටර් 6 ක පමණ දුරක් ගොස් ආපසු එමින් සිටි අතරවාරයේ මල්ලි වැනි වැනි වගේ ඇවිත් එක්වරම ඇද වැටීමට ගියා. මම වහාම ඔහු අල්ලා ගත්තා. ඇද වැටීමට ඉඩ දුන්නේ නැහැ. පසුව යතුරුපැදියේ තබාගෙන ගෙදරට රැගෙන ඇවිත් ඔහුගේ මුහුණට වතුර ටිකක් ඉස්සත් ඔහුට සිහිය ආවේ නැහැ. පසුව බිංගිරිය රෝහලට අපි විසින් රැගෙන ගියා.
බිංගිරිය රෝහලෙන් ඔහු හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඊ.සී.ජී. පරීක්ෂණයක් සිදු කර ඔහුගේ තත්ත්වය හොඳ නැති බව කියලයි වෛද්‍යවරුන් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ. මෙම මැරතන් ධාවන තරගය නිමා කිරීමට තිබුණේ තව කිලෝ මීටර් තුනක් වැනි දුරක් පමණයි යැයිද සාක්ෂිකරු කීය. මියගිය අයගේ බිරිඳ වන ඉසුරුණි කාවිද්‍යා මාවීකොටුව (24) මහත්මියද මෙහිදී සාක්කි දුන්නාය.
හලාවත රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.ආර්. වර්ණකුලසූරිය මහතා මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. තාප ආඝාතය නිසා ඇතිවූ බහුවිධ අවයව පද්ධතිය අක්‍රිය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.
මේ දිනවල පවතින අධික හිරු රශ්මිය නිසා නිතර ජලය පානය කරන ලෙස මෙහිදී මරණ පරීක්ෂකවරයා ප්‍රකාශයක් කරමින් පැවැසීය.
මෙවැනි තරග සංවිධානය කිරීමේදී සංවිධායකවරුන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද මරණ පරීක්ෂකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. තාප ආඝාතය නිසා ඇතිවූ බහුවිධ අවයව පද්ධතිය අක්‍රියවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය. බිංගිරිය පොලිසිය සැරයන් විපුල සුරවීර 31334 මහතා මෙහිදී සාක්කි මෙහෙයවීය.මියගිය අයගේ අවසන් කටයුතු පෙරේදා 19 වැනිදා සවස දොරඑබ සුසාන භූමියේ දී සිදු කෙරිණි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments