විහාරස්ථානයකට සැදැහැවතකු විසින් පූජා කරන ලද සද්දන්ත හස්තියකුගේ ඇත් දළ යුගලය ජාවාරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කළ බව කියන විහාරාධිපති හිමිනමක පෙරේදා (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගළක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව මාතර පිටබැද්දර ප්‍රදේශයට ඉකුත් පෙබරවාරි මස 12 වැනිදා ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දින කීපයක් තිස්සේ කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එම ඇත් දළ යුගළය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගැනුණ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු කිහිපයක් ඔස්සේ කළ විමර්ශනයකින් අනතුරුව ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කළ එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයේදී ඒ සනාථ කර ගත් කරුණු මත 65 හැවිරිදි විහාරාධිපති හිමි නම පෙරේදා (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වසර පහකට පමණ ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගළය සැකකාර හිමිනම උපක්රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි. සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments