mathugama-incident

පොල්ගම්පල දියපත්තුගම ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (26) දහවල් කාලයේ කඩා වැදී තිස් හැවිරිදි අයකු පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියේ යැයි කියන කාන්තාවක ඇතුළු සිවුදෙනෙක් මතුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පැහැර ගෙන යමින් සිටි පුද්ගලයා සහ ඔහුගේ මව විසින් වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විදෙස් රැකියාවකට යවන බව කියා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගෙන ඇතත් පොරොන්දු වූ පරිදි වත්තල කාන්තාව විදෙස්ගත නොකිරීම නිසා ප්‍රාණ ඇපයට තබා ගැනීමට තිස් හැවිරිදි පුද්ගලයා ත්‍රිරෝද රථයක බලහත්කාරයෙන් දමාගෙන පලාගොස් ඇති බව පොලිසිය කියයි.



තිස් හැවිරිදි මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් ඇත්තේ ඔහු ප්‍රාණ ඇපයට තබාගෙන ලක්ෂ 5ක මුදල එම පුද්ගලයාගේ මවගෙන් ලබා ගැනීමේ අරමුණින් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මතුගම නගරයේ  පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායම ත්‍රීරෝද රථය නතර කර ගත් අවස්ථාවේ එහි සිටි තිස් හැවිරිදි පුද්ගලයා තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යන බව ප්‍රකාශ කිරීම නිසා එම  ත්‍රිරෝද රථයේ සිටි කාන්තාව සහ අනෙක් පුද්ගලයින් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පැහැර ගෙන යමින් සිටි බව කියන තිස් හැවිරිදි පුද්ගලයා ද පොලිසිය විසින් මුදා ගනු ලැබීය. තම පුතා පැහැරගත් බවට ඔහුගේ මව විසින් මීගහතැන්න පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි. විදෙස්ගත කරන බව කියා ලබාගත් ලක්ෂ පහේ මුදල ලබා ගන්නා තෙක් මෙම තිස් හැවිරිදි පුද්ගලයා ප්‍රාණ ඇපයට තබාගෙන එම මුදල ලබා දීමෙන් පසු ඔහු මුදා හැරීමට නියමිතව සිට ඇති බව පරීක්ෂණ වලින් හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.



අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන් මීගහතැන්න පොලීසියට බාරදුන් බව මතුගම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවෝ වත්තල, එඬේරමුල්ල, කිරුලපන සහ නාරහෙන්පිට යන ප්‍රදේශවල පදිංචි අය වෙති. මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය