මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පාසල් දැරියක ඊයේ (17) මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බිසෝ බණ්ඩාරගම ලිපිනයේ පදිංචි කේ.එම්. සංජනා සත්සරණි ජයරත්න නමැති දැරියක වන අතර ඇය මැදිරිගිරිය ජාතික පාසලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
මෙම දැරිය ඇයගේ යෙහෙළියක සමඟ නවනගරය ප්‍රදේශයේ උපකාරක පන්තියකට යෑමට සූදානම්ව සිය මවගේ යතුරු පැදිය පණගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රදේශයට ගමන් කරන ත්‍රීරෝද රථයකින් නැඟී ගොස් ඇත. එම ත්‍රීරෝද රථයේ රියැදුරුත් සමඟ 4 දෙනකු ගමන් කර ඇති අතර, මෙම දැරියන් දෙදෙනා ද සමඟ හයදෙනකු ගමන් කර තිබේ. ඔවුන් කොහොඹ දමන ප්‍රදේශයේ සිට නවනගරය දෙසට ගමන් කරමින් සිටිය දී වටදාගෙය හතරමංසන්දියේ දී බිසෝපුර ප්‍රදේශයේ සිට මැදිරිගිය දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථය ඉකුත් 8 වැනිදා ප්‍රපාතයකට පෙරැළී ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ ත්‍රීරෝද රථයේ ගමන්ගත් හයදෙනාම මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබේ.
පොලොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර රෝහලට මාරු කර යැවූ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ඊයේ මරණයට පත්ව ඇත. ත්‍රීරෝද රථයේ ගමන්ගත් සිවු දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
චාපා මධුභාෂිණි
0 Comments