minuwangoda-incident

රාමසාන් උත්සවය සැමරීම සඳහා තම පියා සමග පියාගේ මහගෙදරට පැමිණි අවුරුදු හයක් වයසැති මිනිබිරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ එම දැරියගේ සීයා 22 දා අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 63 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලිංගික අපයෝජනයට ලක්වූ දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.



දැරිය තම සොහොයුරු සහ පියා සමග පියාගේ දෙමාපියන් පදිංචිව සිටින මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ පිහිටි නිවසට මීට දින 05කට පමණ කලින් රාමසාන් උත්සවය සැමරීමට පැමිණ තිබෙන බවත්, ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි නිවසේ සිට මෙසේ පැමිණ ඇති අතර, පසුගිය 21වැනිදා රාත්‍රියේ වින්දිත දැරිය කාමරයක් තුළ නිදාගෙන සිට ඇති බවත්, දැරියගේ ආච්චි (සැකකරුගේ බිරිඳ) මුළුතැන්ගේ තුළ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී අපයෝජනයට ලක්කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

රෝගාතුර වී සිටි දැරිය පොලීසිය මැදිහත්වී මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ. සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ටෝනි කරුණානායක