මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක 23 හැවිරිදි ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ 61 හැවිරිදි විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
පුද්ගලික පාසලේ ඉංග්රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරිය එම පාසලට මෑතකාලීනව පත්වීමක් ලබා පැමිණ ඇති අයෙකු බව පැවසෙන අතර අවුරුදු නිවාඩුවෙන් පසු පාසලේ උදෑසන පැවති සාදයටද සහභාගී වී තිබුණි. කලෙක සිට තමන් කෙරෙහි වැඩි ඇල්මක් බැල්මක් ඇති වයෝවෘද්ධ විදුහල්පතිවරයා මෑතක සිට තමන්ට බලපෑම්කාරී වචන පාවිච්චි කරන බැවින් ඇය ප්රවේශම්සහගතව ඔහු සමග කටයුතු කළ බවද පැවසේ.
රාජකාරී මට්ටමින් පමණක් විදුහල්පතිවරයා ඇසුරු කරන්නට ඇය උත්සුක වූවත් කිසිවෙකු නැති අවස්ථාවන් බලා විදුහල්පතිවරයා තමන් වෙත පැමිණ දෙපිට කැපෙන වචන පාවිච්චිකරමින් වරදකට පොළඹවාගන්නට උත්සාහ කරන බවද ඇය පවසා තිබේ.
23 හැවිරිදි ගුරුවරියට අද විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ කිසිවෙකු නොමැති ස්ථානයක විදුහල්පතිවරයා ඇය අමතා පවසා ඇත්තේ ‘මට ඔයාට අවුරුද්දට විෂ් කරන්නත් බැරි වුණානේ..‘ ලෙසිනි. එසේ කියූ ඔහු කම්මුලට කම්මුල තබා හාදුවක් දීමෙන් පසු ඇය තරයේ බදාගෙන සිප වැළඳගෙන තිබෙන බව පැවසේ. මෙම අවස්ථාවේ විදුහල්පතිවරයාගේ ග්රහණයෙන් මීදීමට අපහසුවූ තැන කෑගසා පළායන්නට ඇයට සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත් ගුරුවරිය 119 අංකය අමතා තමන්ට සිදුවූ හිරිහැරය දන්වා ඇති අතර
කඩවත ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු විදුහල්පතිවරයා අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
0 Comments