moragahahena-incident

මොරගහහේන කුඩාඋඩුව බෙහෙත් ශාලාවේ  පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට ප්‍රතිකාර ලබාගැනීමට ඉකුත්දා 3 වැනිදා දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එහි සේවය කරමින් සිටි වෛද්‍යවරියට ඇසිඩ් ගසන බවට තර්ජනය කර අනෙක් සේවකයන්ට තියුණු ආයුධයක් පෙන්වා බියකර ඔවුන් පැලද සිටි රන් මාල දෙකක් සහ මුදුවක් කොල්ල කා පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.  මෙම වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා උඩුව හන්දිය ආසන්නයේ බෙහෙත් ශාලාවක පවත්වාගෙන යන අතරතුර යතුරු පැදි අනතුරක් සිදු වූ බව පවසමින් යතුරු පැදියකින් එම කොල්ලකරුවන් පැමිණ ඇති බවට හෙළිවී යැයිද පොලිසිය කියයි.



වෛද්‍යවරියට ඇසිඩ් බෝතලයක් පෙන්වා ඇසිඩ් ගසන බවට තර්ජනය කර ඇයගේ ගෙල බැඳි රන්මාලය කොල්ල කා වෛද්‍යවරිය ප්‍රතිකාර කාමරය තුළ සිරකර පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි. රෝගියකු ලෙසින් පැමිණි පුද්ගලයා වෛද්‍යවරියට තර්ජනය කර ඇය කොල්ල කෑ අවස්ථාවේදී සැකකරු සමග යතුරු පැදියේ පැමිණි අනෙක් පුද්ගලයා කඩුවක් පෙන්වා එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි සංවර්ධන නිලධාරී, සෞඛ්‍ය කාර්ය සේවක සහ ආරක්ෂක නිලධාරී වෙනත් කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ රන්බඩු කොල්ල කා ඇතැයි පොලිසිය  පවසයි.



සැකකරුවන් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමට මධ්‍යස්ථානය තුළට පැමිණි අවස්ථාවේදී පවා මුව ආවරණ සහ යතුරුපැදි හිස්වැසුම් පැලඳ සිට ඇති බවත් එම මුව ආවරණ ඉවත් කරන ලෙස වෛද්‍යවරිය දැනුම් දුන්නද මුව ආවරණ සහ යතුරුපැදි හිස් වැසුම් ඉවත් කර නොමැති බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


බුද්ධික කුමාරසිරි