mother-death-pathahewaheta

දිළිඳු පවුල් සදහා රජය මගින් නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීමට පසුගිය 8 දා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පිරිස අතර ඇතිවූ අධික තෙරපීමකින් සිහිසුන්ව ඇද වැටුණු කාන්තාවක් මියගොස් ඇත. මෙසේ මරුමුවට පත්ව ඇත්තේ තලාතුඔය පුස්සතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැට අටක් වන එක් දරු මවකි. රජය මගින් දිළිදු පවුල් වෙත නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ගේ අසංවරකාරි හැසිරීම නිසා මෙම තෙරපීම සිදුවී ඇත.



මියගිය කාන්තාව කාලයක් තිස්සේ රෝගී තත්ත්වයකින් සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පෝලිමේ සිටිය දී ශරීරයේ සීනි මට්ටම අධික ලෙස පහත වැටීම නිසා ඇය ඇද වැටී ඇත්දැයි සැක කරන බව රෝහල් ප්‍රකාශිකාවක්  පැවසුවාය. තලාතුඔය රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඇය ඒ වන විටත් විටත් මියගොස් සිටියාය. ඇයගේ අන්තිම කැමැත්ත අනුව මෘත ශරීරය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට ඥාතීහු කටයුතු කළහ.
ඩබ්ලිව්.ඒ. අසේල