mt-lavinia-incident

රූමත් සම්බාහන සේවිකාවකගේ ගල්කිස්ස නවාතැන්පොළට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර, ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ බව කියන පුද්ගලයන් දෙදෙනකු සහ එහි සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.



අඅත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන්නේ බස් කොන්දොස්තරවරයකු සහ පෙදරේරුවෙකි.



උණු කර තිබියදී සොයාගත් රත්රන් ගෑම් 24ක්, ජංගම දුරකථන තුනක්, උල් පිහියක්, රුපියල් තිස්පන්දහසක මුදලක්, සැකකරුවන් එම අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් හා පාවහන් සහ නවාතැන්පොළේ දොර විවෘත කිරීමට යොදා ගත් ව්‍යාජ යතුර ද පොලිසිය සොයාගෙන ඇත.

මෙම සේවිකාව මාර්තු 17 වැනිදා සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ පිහිටි නවාතැන්පොළේ රැඳී සිටියදී සැකකරුවන් දෙදෙනා දොර විවෘත කරගෙන පැමිණ ඇයට උල් පිහියක් පෙන්වා මරණීය තර්ජන කර, ලිංගික අතවර කර ඇය පැලඳ සිටි සහ බෑගයේ දමා තිබූ රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා, අත්බෑගයේ තිබූ රුපියල් හතළිස් පන්දහසක මුදලක් ද රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කීවේය.

මේ සම්බන්ධයෙන් එම කාන්තාව ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදුකිරීම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත යොමු කර තිබේ.

අනතුරුව සී.සී.ටී.වී. දර්ශන සහ අනෙකුත් සාක්ෂි පදනම් කරගෙන මෙහි සැලසුම්කරු වන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

බිමල් ජයසිංහ - බණ්ඩාරගම