nawagamuwa-incident

සිංහල අලුත් අවුරුද්දට බිරිය සහ දරුවන් බැලීමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000 ක මුදලක් ගැට කපන්නකු විසින් සොරා ගැනීමෙන් සිත්තැවුලට පත්ව සිටි නිදරු පියකුගේ මළ සිරුර කුඹුක්ගසක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් තිබුණේ බදුරලිය, පිල්ලවලකඩ, ගඟ ළඟ පදිංචිව සිටි කලුආරච්චිගේ සරත්චන්ද්‍ර නමැති 58 හැවිරිදි තිදරු පියෙකි. 

නවගමුව පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල් මෝලක රැකියාව කළ මොහු ගල් මෝලේ හිමිකරු වැටුප් වශයෙන් දුන් රුපියල් 35,000ක් සහ එකතු කරගත් මුදල් සමග රුපියල් 80 000 මුදලක් රැගෙන සිංහල අවුරුද්දේ සතුට බිරිය සහ දරු තිදෙනා සමග භුක්ති විඳීම සඳහා සිය ගම් ප්‍රදේශයේ වන බදුරලිය ප්‍රදේශය කරා ඊයේ උදේම පිටත්ව ගොස් තිබූ බව පොලිසිය පවසයි.

හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවේ මුදල් දමාගෙන තිබී ඇති අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඔහුගේ මුදල් නොමැති බවට දැක කලබල වී සොයා බැලුවත් පලක් නොවූයෙන් නිවසට නොගොස් නැවතත් ගල් මෝල වෙත පැමිණ සිටි බව පොලිසිය කියයි. අතේ සතයක්වත් නොමැතිව ගමට යා නොහැකි නිසා ඔහු යළි බෝඩිම් කාමරයට පැමිණ සිද්ධිය පිළිබඳව ඔහුගේ හිතවතකුට පවසා ඇත. පසුව ඔහු ගල් මෝල ආසන්නයේ සුපුරුදු බොඩිම් කාමරයෙහි ගත කර ඇති අතර අලුයම මිතුරකු පැමිණ ඔහු පිළිබඳ සොයා බැලීමේදී බෝඩිම් කාමරය තුළ නොවීමෙන් කළ සෝදිසියේදී කුඹුක් ගසක ඔහුගේ සිරුර එල්ලෙමින් තිබී ඇතැයි පොලිසිය පවසයි. නවගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ