nawagamuwa-police

නවගමුව නාකඩමුල්ල ප්‍රදේශයේ නිවෙසක අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් මහ දවල් සාදයක් පැවැත් වූ අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන “චොරා” නමැත්තා සමග කාන්තාවන් සිවු දෙනෙකු ඇතුඵ දහ දෙනකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි. නිවෙසක අධික ශබ්ද නගා ගීත වාදනය කරමින් මත් සාදයක් පැවැත්වෙන බවට නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම නිවස වටලා ඇත.



පොලිසිය එම නිවෙසට ළඟා වනවාත් සමගම එතෙක් වාදනය කරමින් තිබූ ගීත නවතා දමා එහි සිටි පිරිස නිවසේ සැඟවුණු බවත් පසුව පොලිසිය කිහිපවරක් දැනුම්දීම් සිදුකර නිවසේ දොරගුලු විවෘත කරවාගෙන ඇති බවත් පොලිසිය කියයි. අධික ලෙස මත්ව නිවසේ තැනින් තැන සැඟවී වැතිරී සිටි පිරිස එම පරීක්ෂාවේ දී සොයා ගැනීමට  හැකිවූ බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස සෝදිසියට ලක් කිරීමේ දී හැඳ සිටි ඇඳුම්වල සඟවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව ද පොලිසිය සඳහන් කරයි.



මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල වැල්ලම්පිටිය සහ කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන කාන්තාවන් සිවු දෙනකු සහ හෝකන්දර බියගම කොළඹ ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 35ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් හය දෙනකු බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල  මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය.
කේ. බුද්ධික කුමාරසිරි