නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළේ නතර කර තිබූ පෞද්ගලික බස් රථයකට කඩා වැදී එහි සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙක් නුවරඑළිය මූලස්ථාන පොලිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබීය.
කොස්තාපල්වරයා සැකකරුගේ පෙම්වතිය බව කියන ත රුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැක කර කරුණු වරදවා වටහා ගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ආගරපතන පොලිසියේ රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා නුවරඑළිය මූලස්ථාන පොලිසියට විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.
ඔහු විශේෂ රාජකාරි කටයුතු අවසන් කර නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොළේ නතර කර තිබූ ඩයගම බලා යෑමට නියමිත පෞද්ගලික බස් රථයක නිල ඇඳුමෙන්ම වාඩිවී සිට ඇතැයි එම නිලධාරියා කීය.
එහිදී බස් රථයට කඩා වැදුණු සැකකරු පොලිස් කොස්තාපල්වරයාට දිගට හරහට පහර දී ඇති අතර කොස්තාපල්වරයා ඔහු අල්ලා නුවරඑළිය මූලස්ථාන පොලිසියට බාරදීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර සංවර්ධන නිලධාරියා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය. නුවරඑළිය මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments