oil-bouser-gps

ඉන්ධන ප්‍රවාහනයේදී සිදුකරන දූෂණ අක්‍රමිකතා හෙළිකර ගැනීම සඳහා ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් පැවසුවේය.

අප්‍රේල් මස අවසන් වන විට මෙම කාර්ය අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු කියා සිටියේය.

මෙලස ඉන්ධන බෙදාහැරීමට ජී.පී.එස්. තාක්ෂණය යොදාගැනීමෙන් රුපියල් බිලියන එකක පමණ ඉතිරියක් කර ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්ධන බවුසර්වලට මෙම ජී.පී.එස්. තාක්ෂණය යොදාගැනීමේ මූලිකම අරමුණ වන්නේ ඉන්ධන තොග කළමනාකරණය කිරීම බවත් මෙම තාක්ෂණය යොදාගත් පසු කිසිදු ඉන්ධන බවුසරයකින් ඉන්ධන සම්බන්ධ වංචාවන් සිදුකළ නොහැකි බවත් ඔහු පැවසුවේය.



එමෙන්ම මෙම බවුසර් ගමන් කරන ප්‍රදේශ සහ ඉන්ධන ගොඩබෑම සිදුකරන ස්ථාන සම්බන්ධයෙන් අධීක්ෂණය කළ හැකි බැවින් අනවශ්‍ය ලෙස තැනින් තැන සිදුකරන ඉන්ධන ගොඩබෑම ද නතර වනු ඇත.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට සපයන ඉන්ධන බවුසර් 150 ක් මේ වන විට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුය. ඒ අනුව මෙම ජී. පී. එස් තාක්ෂණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම බවුසර්වලට අදාළ තාක්ෂණ පහසුකම් ලබාදෙයි.

ඉන් අනතුරුව පුද්ගලික ඉන්ධන බවුසර් 700 ක් සඳහා ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ජී. පී. එස්. තාක්ෂණය ලබාදෙනු ඇත.



කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙන්නේ ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි රථ මගින් අක්‍රමිකතා සිදුවන බවය. ඉන්ධන ප්‍රවාහනය කරන්නන් පවසන්නේ තෙල් ලීටරයකින් කිලෝමීටරයක දුරක් පමණක් යා හැකි බවය. නමුත් මෙම ජී. පී. එස් තාක්ෂණය යොදාගැනීම මගින් අනාවරණය වී ඇත්තේ බොහෝ ඉන්ධන බවුසර්වලට තෙල් ලීටරයකින් කිලෝ මීටර් හතරකට ආසන්න දුරක් යාමට හැකි බවය.

එමෙන්ම මෙම ඉන්ධන බවුසර්වලින් අදාළ ඉන්ධන තොග සම්පූර්ණ වශයෙන්ම ගොඩබෑමට ලක් නොකරන බවත් අතරමැදි පුද්ගලයන්ටද මෙම බවුසර් මගින් තෙල් විකුණන බවටත් අනාවරණය වී තිබේ.