දියණියකගේ  රෝගය සුව කිරීම සදහාත් ඉන්න හිටින්නට පැලක් හදා ගැනීම සඳහාත්  ඕමාන් රටේ ගෘහ සේවයට ගිය  දෙදරු මවකට අත් වූ සෝචනීය  ඉරණමක් මාතලේ මඩවල උල්පත ප්‍රදේශයෙන් වාර්තා විය. සැමියා ළඟ කුඩා දියණියන් දෙදෙනා දමා ඕමාන් රටේ ගෘහ සේවය සඳහා පිටව ගිය මෙම මව රෝගී තත්ත්වයට පත්ව ආහාරපාන නොමැතිව  නොසිතූ පරිදි නිවසේ හිංසනයකට ලක්ව සිටින බවත් පැවසෙයි. මාතලේ මඩවල උල්පත දියත උයන ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. රසිකා සඳමාලි (31) දෙදරු මව මීට මාස 7කට පමණ ඉහත දී දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා කාර්යාලය කින් ඕමාන් රටේ බහුරානි ප්‍රදේශයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස්  තිබේ.



වයස අවුරුදු දාහතරක් වූ මයුරි උමෙශිකා දියණියත් වයස අවුරුදු අටක් වූ රවීෂා යස්මිනි දියණියත් සැමියා වන ජේ.ඒ. චන්දන කුමාර ලාල් සිරි මහතාට බාර දී ඇය මෙසේ ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇත්තේ බාල දියණියගේ උදරයේ ඇති  දරුණු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සහ ඔවුන් ජීවත්ව සිටි ඉඩකඩම් නිවස සියල්ල බේරා ගැනීම සඳහා බව ඔවුහු පවසති. ඇය ඕමාන් රටට ගොස් මාස කිහිපයක් ගත වෙද්දී එම පවුලේ ආර්ථිකය යම් මට්ටමකින් විසඳමින් පවතිද්දී කුඩා කාලයේ හෘද සැත්කමක් කර ඇති රසිකා සඳමාලි නැවතත් රෝගියකු බවට පත්ව සිටින බව ඇය සඳහන් කරයි.

ඕමාන රටේ සිට වීඩියෝ තාක්ෂණ ඔස්සේ අප ඇමතූ රසිකා සඳමාලි දැඩි අපහසුතාවයෙන් කියා සිටියේ එම නිවෙසේ වද හිංසනයට ලක්වන බව ය. එමෙන්ම ආහාර පාන ලබා ගැනීමට නොහැකි වීම මෙන්ම ප්‍රතිකාර සඳහා සහයෝගයක් නොමැතිවීම නිසා  තමන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක්ව ඇති බවය. නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 8 ක මුදලක් පෞද්ගලික රැකියා නියෝජිත ආයතනය ඉල්ලා සිටින බවත් ඇය සඳහන්  කළාය. දියණියන් දෙන්නාගේ තත්වත්වය කුමක් දැයි සොයා බැලීම සඳහා මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේ පිහිටි නිවෙසට  යන විටත්  පාසල් ගමනට තාවකාලිකව සමු දී සිටින දියණියන් දෙදෙනා තනිව නිවසේ සිටින ආකාරයක් දැක ගැනීමට හැකි විය.



මව මාස දෙකක පමණ කාලයක සිට මුදල් එවා ගැනීමට නොහැකි වීමත් තම පියා කුලී වැඩට යන නිසා නිතර නිතර අසනීප වන නැගනිය බලා ගැනීමට  සිදු වීමත්  නිසා  තමන්ගේ  පාසල් ගමන අඩපණ වූ බව වැඩිමල් දියණිය මයුරි  පැවසුවාය. වැඩට ගිය අවස්ථාවල නැගණිය පිරිසුදු කිරීම් ආහාර පිසීම ආදී සියලු කටයුතු උරුම වී ඇත්තේ වයස අවුරුදු දාහතරක් වූ මයුරි උමේශා දියණියට ය.  හැඬු කඳුළෙන් කියා සිටියේ තමන්ගේ මව කාගේ හෝ උදව්වෙන් කඩිනමින් ලංකාවට ගෙන්වා දෙන ලෙස ය. එසේ වූ විට තමන්ට අධ්‍යාපනය ලබා ගැනීමටත් නැගණිය වන රවීෂාට ප්‍රතිකාර කර ගැනීමටත් හැකි බව ඇය සඳහන් කළාය. මෙම දරුවන්ගේ පියා වන චන්දන කුමාරසිරි මහතා කියා සිටියේ තම බාල දියණිය වෙනුවෙන් මුළු සේසතම වියදම් කොට ඇති බව ය.

කුඩා කාලයේ සිටම ඇති වූ රෝගී තත්වය සොයා ගැනීම සඳහා ඉඩකඩම් වතුපිටි නිවස පවා මේ වන විට විකුණා රුපියල් පන්දහසක මුදලක් ගෙවා කුඩා කාමරයක ජීවත් වන බව ද ඔහු සඳහන් කළේ ය. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම  සඳහා තම බිරිඳ විදේශ ගත වීමට ගත් තීරණයට තමන් ද එකඟ වූ බවත් අවසානයේදී බිරිඳ එරට අසනීප තත්ත්වයට පත්ව නැවතත් මුළු පවුලම මහා ඛේදවාචකයට පත්වන බවත් හෙතෙම සඳහන් කළේය. කුමන හෝ බාධක තිබුණත් තමන්ගේ බිරිඳ ලංකාවට ගෙන්වා ගැනීම සිදු කළහොත් කුසගින්නේ හෝ දරුවන් සමග ජීවත් වීමට හැකි බව හෙතෙම සඳහන් කළේය ඔවුන්ගේ ලිපිනය ජේ.ඒ. චන්දන කුමාර ලාල්සිරි, නොම්මර 82, දියදහර උයන, මඩවල උල්පත