කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට හොරෙන් ඇතුළුවී නීතිවිරෝධී ලෙස විදේශගතවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි හතරදෙනා එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙය සංවිධානය කළ පුද්ගලයා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ යාපනය වේලනෙයි පදිංචි සුගන්තන් යෝගරාසා (31), යාපනය තොන්ඩමනාරුවේ මුරුකාන්තන් ජතාසන් (25), පුදුකුඩුඉරුප්පුවේ තුරෙයිලිංගම් තුෂාන්තන් (32), යාපනය අරාලි උතුරේ ශ්‍රී දරන් ජෙසන්තන් (32) යන සිවුදෙනාය. මොවුන් නීති විරෝධි ලෙස විදේශගත වීමේ අරමුණින් කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ පැනමා රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නැවට මාර්තු 24 වැනිදා හොරෙන් ගොඩවී ඇති අතර නැව 25 වනිදා ඇමරිකාව බලා ගමන් ආරම්භ කර ඇත.
නැව යාත්‍රා කරමින් තිබියදි සූවස් ඇළ ආසන්නයේ දී ඔවුන් නැවේ සේවකයන් නොවන බවට හඳුනා ගැනීමෙන් පසු 26 වැනිදා නැවේ කපිතාන්වරයා විසින් ඔවුහු අත් අඩංගුවට ගනු ලැබූහ.
පසුව නැව් පිළිබඳව කටයුතු කරන ගැක්ෂිපිං ආයතනයට දැනුම් දීමෙන් පසු ජැක්ෂන් බේ නමැති නැවට ඔවුන් බාරදී නැව ඇමරිකාව බලා යාත්‍රාකර ඇති අතර, ජැක්ෂන් බේ නෞකාව ඉකුත් 10 වැනිදා සවස ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවට පැමිණ ආගමන විගමන නිලධාරින්ට දැනුම් දී ඇත. ඒ අනුව ආගමන විගමන නිලධාරින් ටග් යාත්‍රාවකින් නැව වෙත ගොස් ඔවුන් බාරගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදී ඇත. පොලිසිය කියා සිටියේ එක්තරා පුද්ගලයකු රුපියල් ලක්ෂයක වැටුපකට විදේශ රැකියා ලබාදිය හැකි බවට පැවසීම නිසා මොවුන්ගෙන් මුදල් ලබාගෙන ඉකුත් 24 වැනිදා රාත්‍රි මෙම හතර දෙනාට වැඩ ඇඳුම් (ඔවර් රෝල්) අන්දවා හොරෙන් නැවට ගොඩකර ඇති බවය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම හතරදෙනා රැකියා විරහිත අහිංසක පුද්ගලයන් බවය.
කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු ඔවුන් බෝට්ටුවක නංවාගෙන යමින් සිටියදී ආහාර හිඟවීම නිසා ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නැවකට බාරදී ඇති බවත් නීතිඥවරු කියා සිටියහ. මෙහිදී චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගන්නාවදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේය. එහිදී විත්තියේ නීතිඥවරුන් කියා සිටියේ නීති විරෝධි ලෙස විදේශගත වීමේ චෝදනාවට වරද පිළිගන්නා බවය. ඒ අනුව සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කරමින් ඉදිරියේ දී මෙය බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි නිසා මෙය සංවිධානය කරන ලද පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඩී.ජී. සුගතපාල
0 Comments