police-manabuse-incident

යතුරුපැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය බව කියන තරුණිය අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන් නිරුවත් කර ලිංගික අතවරයක් සිදුකර ඇයගේ නිරුවත ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක්

පින්නවල පොලිසිය විසින්  පසුගිය 8 දා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන 38 හැවිරිදි විවාහක අයෙකි. මොහු හම්බෙගමුව කොටවෙහෙර මංකඩ දිවුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



පින්නවල පොලිස් වසමේ පදිංචි තරුණයකු ඇයගේ පෙම්වතිය බව කියන 18 හැවිරිදි තරුණිය සමග සමනලවැව වේල්ල ප්‍රදේශයට සිරි නැරඹීම සඳහා යතුරුපැදියකින් පැමිණ ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. පෙම්වතුන් යුවළ ප්‍රදේශයේ සිරි නරඹමින් සිටින අතරවාරයේ සැකකරු යතුරු පැදියකින් පැමිණ පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව පවසා මත්ද්‍රව්‍ය තිබේද යන්න පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවට පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.  තමන් ළඟ මත්ද්‍රව්‍ය නොමැති බව ඔවුන් දෙදෙනා බැගෑපත් වෙමින් පවසා ඇතැයි  කියති.  දෙදෙනාගේ අත්වලට මාංචු දමා ඇතැයි පොලිසිය පවසයි.

පසුව තරුණියගේ අතට දමා තිබූ මාංචු ගලවා තරුණයා ඔහුගේ යතුරුපැදියට සම්බන්ධ කර මාංචු දමා ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය. මෙවැනි ආකාරයට තරුණයා සිරකර තබා සැකකාර පොලිස් කොස්තාපල්වරයා තරුණිය අසල පිහිටි කැලෑවකට බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ඇය සම්පූර්ණයෙන් නිරුවත් කර ලිංගික අතවරයක් ද සිදුකර ඇයගේ නිරුවත සැකකරුගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.



මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඒ මොහොතේම ක්‍රියාත්මක වූ සමනලවැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි තරුණයා ද මුදාගෙන ඇත. මාංචු කුට්ටම, ජංගම දුරකථනය සහ සැකකරු පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. 18 හැවිරිදි තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය පවසයි. මෙම සිද්ධියට අදාළව තරුණියගෙන් සහ තරුණයාගෙන් ප්‍රකාශයක් ද පොලිසිය ලබාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද පොලිසිය කටයුතු යොදාගෙන යයි. මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය තවදුරටත්  පරීක්ෂණ පවත්වයි.


 ඉන්දිකා රාමනායක