police-woman-whatsapp

ප්‍රේම සම්බන්ධතාව නවතා දැමීමෙන් විරසක වී පොලිස්  කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරියේ යැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්.  ඉලංගසිංහ මහතා ඊයේ (20) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විසිහතර හැවිරිදි පානදුර පදිංචි සඳුන් තාරක ප්‍රදීප් කුමාර නමැති හොටෙල් සේවකයෙකි.



බස් රථයක දී දැන හඳුනාගත් පොලිස් කොස්තාපල්වරිය සමග වසර තුනක පමණ කාලයක් මෙම සැකකරු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවත් පසුව එම සම්බන්ධතාව  නවතා දැමීමෙන් උරණ වී ඇයගේ නිරුවත් ඡායාරූප වස්අප් සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු  වාර්තා කර තිබිණි.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී  සිටි නිතීඥවරයා සඳහන් කර සිටියේ සේවාදායකයා සමග මෙම පොලිස් කොස්තාපල්වරිය ප්‍රේම සම්බන්ධතාව පවත්වන  අතරතුර ඔහු ඉපැයූ මුදල් ඇයට වියදම් කර ඇති බවත් විවාහ වීම සඳහා උත්සව ශාලා පවා වෙන්කරවා තිබූ අවස්ථාවක ඇය ඔහු මග හැරි බැවින් ඇති වූ වේදනාවට ඔහු මෙලෙස හැසිරී ඇති බවත්ය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
නිමන්ති රණසිංහ