praween-story

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විහඟනා ආරියසිංහ සිසුවිය තම සිරුරේ කොටස් පරිතත්‍යාග කර සතියක් ඉක්ම යාමටත් පෙර හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මියගිය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවකුගේ සිරුරු කොටස්ද ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ සිදුවීමක් වාර්තා වේ. ඉතා කෙටි කාලයක් ඇතුළත කුරුණෑගල එකට සම්බන්ධ ජනප්‍රිය පාසල් දෙකක් හා සම්බන්ධව මේ ශෝචනීය සිදුවීම් වාර්තාවීම ද දෛවෝපගත සිද්ධියකි.

කුරුණෑගල, දෙමටළුව ප්‍රදේශයේ පදිංචිව සිටි මලියදේව විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රවීන් බණ්ඩාර සිසුවාගේ සිරුරු කොටස් ඉකුත්දා (3) කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පරිත්‍යාග කිරීම සඳහා ලබාගෙන ඇත. මියගිය ප්‍රවීන් බණ්ඩාර ශිෂ්‍යයා තම මව සහ තමන්ට බාල සොයුරා හා සොයුරිය සමඟ ඥාතියකු හමුවීමට ගොස් ආපසු නිවසට ගමන් කරමින් සිටියදී පසුගිය 31 වන දින රාත්‍රියේ වීරඹුගෙදර, කළුගමුව මාර්ගයේ ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය ටිපර් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා ඇත.



ත්‍රිරෝද රථය පැදවූ රියැදුරාගේ නොසැලකිලිමත්කම හෝ රාත්‍රියේ පැහැදිලිව මාර්ගය දර්ශනය  නොවීම හේතුවෙන් නිසා හෝ මාර්ගයේ දමා තිබූ පස් ගොඩක් මතින් ධාවනය වූ රථය පෙරළී ගොස් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව කියයි. මෙම අනතුරේ ප්‍රවීන්ගේ මව අනතුර සිදුවූ ස්ථානයේදීම මියගිය අතර, ප්‍රවීන්ගේ සොයුරාගේ මුහුණ තුවාල සිදුවී දත්වලට හානි සිදුව ඇති අතර සොයුරියගේ අතක් බිඳී තුවාල සිදුවී ඔවුන් දෙදෙනාගේ ජීවිත අනූනවයෙන් බේරි ඇත.

ඔවුන් ගමන් කර ඇත්තේ අසල්වැසියකුගේ ත්‍රීරෝද රථයකින් වන අතර අනතුරෙන් ඔහුද බරපතළ තුවාල ලබා මේ වන විට කුරුණෑගල ශික්ෂණ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.  අනතුරෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිහිසුන්ව අසාධ්‍ය තත්වයක පසුවූ ප්‍රවීන් කුරුණෑගල ශික්ෂණ  රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඔහුගේ මොළය මියගොස් ඇති බවට ප්‍රතිකාර ලබා දුන් විශේෂඥ වෛද්‍යවරුන් නිගමනය කර ඇත.  විහඟනාගේ මෙන්ම මොළය මියගොස් ඇති ප්‍රවීන්ගේ අවයවද අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ හැකි බව වෛද්‍යවරුන් ප්‍රවීන්ගේ පියාට පෙන්වාදී තිබේ. පියා වෘත්තීයෙන් දැව භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන අතර මව ගෘහණියකි.

ප්‍රවීන්ගේ පියාගේ කැමැත්ත මත ප්‍රවීන්ගේ හෘදය, පෙනහලු, අක්මාව, වකුගඩු, අක්ෂි පටල වෙනත් අසාධ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා පෙරේදා ඔහුගේ සිරුරෙන් වෙන් කරගෙන තිබේ. ඒ ප්‍රවීන්ගේ ආදරණීය මවගේ අවසන් කටයුතු සිදු කර දිනක් ඇතුළතදීය ඒ.  කුරුණෑගල වයඹ රාජකීය විදුහලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ ප්‍රවීන් එම ප්‍රතිඵල මත හය වසරේදී මලියදේව විදුහලට ඇතුළත් වී තිබේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද විශිෂ්ට සාමාර්ථ නවයක්ම ලබමින් සමත්වූ ඔහු පසුගිය වසරේදී විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා මලියදේව විද්‍යාලයට ඇතුළත්ව සිටියේය.



ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහාද සුවිශේෂී දස්කම් පෑ ඔහු සංගීත විෂයයෙහි දැක්වූ දස්කම් නිසාම සංගීත විශාරද විභාගයද සමත්ව  සිටියේය. ප්‍රවීන් මියුරු කටහඬක් සහිත දක්ෂ ගායකයෙකි. ඔහු ගායනා කරන ගීතයක් මේ වනවිට යූටියුබ් නාලිකාවේ ජනප්‍රියම ගීතයකි.  පසුගියදා අවසන්වූ කුරුණෑගල මලියදේව - ශාන්ත ආනා දෙවිදුහල් අතර පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහා මලියදේව විදුහල වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කළ ප්‍රවීන් එම ගීතය ගායනා කිරීමට ද හවුල් වී තිබේ.

වාර්ෂික ක්‍රිකට් තරගය අවසන්වීමෙන් පසුව අතිරේක පන්තියකටද සහභාගි වූ ප්‍රවීන් ත්‍රිරෝද රථයකින් කුරුණෑගලට පැමිණ සිටි තම මව, සොයුරිය හා සොයුරා සමඟ එක්ව ඥතියෙකු බැලීම සඳහා වීරඹුගෙදර ප්‍රදේශයට ගොස් ඇත්තේ ඒ තමාගේත් තම මවගේත් අවසාන ගමන බව නොදැනය. ආපසු එන ගමනේදී ත්‍රීරෝද රථය පැදවූ රියැදුරා රථය මාර්ගය අයිනේ ගොඩ ගසා තිබූ පස් ගොඩක් මතින් ධාවනය කරවීම හේතුවෙන් පෙරළී ගොස් මාර්ගයේ ධාවනයවූ ටිපර් රථයක හැපී ඔවුන් ගමන් කළ රථය අනතුරට ලක්වීමෙන් මෙම ශෝචනීය සිදුවීම් වී තිබේ.  අනාගතයේදී මලියදේවය වර්ණවත් කිරීමට සිටි අතිදක්ෂ සිසුවකුට මේ ආකාරයට අකාලයේ ජීවිතය අහිමි වූයේ කිසිවකු නොසිතූ නොපැතූ පරිදි ය.


පුෂ්පකුමාර ජයරත්න