prof-house-robber

කොළඹ සරසවියේ මහාචාර්යවරයකුට අයත් නිවසකින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න ලැප්ටොප් යන්ත්‍රයක්, ජංගම දුරකතනයක් හා රුපියල් හැට දහසක මුදලක් සොරාගත් දේශපාලන විද්‍යාව උගන්වන පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු බවද පොලීසිය කියයි.
මෙම පුද්ගලයාගේ සමීප හිතවතකු වන කොළඹ සරසවියේ සේවයේ නිරත මහාචාර්යවරයෙකු මත්තෙගොඩ වාසනා වත්ත ප්‍රදේශයේ තාවකාලික නිවසක වාසයකර කර ඇති අතර ඉකුත් 09 දා බිරිඳ සහ මහාචාර්යවරයා ඥාති නිවසකට ගොස් තිබේ.
එදින දහවල් සැකකරු නිවසට පැමිණ මහාචාර්යවරයාගේ කාමරයේ මේසය මත තිබූ රුපියල් ලක්ෂ හතර හමාරහමාරක් වටිනා ලැප්ටොප් යන්ත්‍රයක්, රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකතනයක්, රුපියල් 60,000 ක මුදලක් සොරාගෙන පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.


සැකකරු මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ජංගම දුරකථනය හා ලැප්ටොප් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට යාමේදී එහි මුරපදය ලබාදීමට ක්‍රියාකරුගේ අනන්‍යතාව තහවුරු කිරීමට සිදු වී ඇත. එසේ කළහොත් තමා සොරකම කළ බවට අනාවරණය වන බවට වූ සැකය මත සොරාගත් ලැප්ටොප් යන්ත්‍රය හා ජංගම දුරකතනය අවස්ථා දෙකකදී යතුරු පැදියකින් මහාචාර්යවරයාගේ නිවසට පැමිණ දමා ගොස් ඇති අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබේ.
මේ අතරතුර ඥාති නිවසකට ගිය මහාචාර්ය අඹුසැමි යුවළ නිවසට පැමිණීමේ දී නිවසෙහි ස්ථාන කීපයක් සැකකටයුතු ලෙස අවුස්සා තිබීමත්, නිවසේ ජනේලයක් විවර කර තිබීමත් පිළිබඳව සැක සිතී ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි .
පොලිස් නිලධාරි කණ්ඩායමක් යොදවා අවට ආරක්ෂිත කැමරා පරික්ෂා කිරිමේදී සැකකටයුතු ලෙස යතුරුපැදියකින් නිවසට පැමිණෙන පුද්ගලයා යතුරු පැදි අංකය ඔස්සේ විමර්ශනය කොට සිද්ධියෙන් පැය විසි හතරක් යන්නටත් පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


සොරාගත් රුපියල් 60,000 ක මුදල සැකකරුට වියදම් වී ඇති අතර, පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් මෙම සොරකම සිදුකළ බවට පොලීසියට ප්‍රකාශයක් කර තිබේ.
තවදුරටත් විමර්ශනය කිරීමේ දී සැකකරු හා මහාචාර්යවරයා සමීප හිතවතුන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ශාන්ත ප්‍රදීප් කුලරත්න)