qr-fuel-quota

අලුත් අවුරුදු උත්සව  සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසු කිව් ආර් කේතය අවභාවිත වීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් කිව් ආර් කේතයට පරිබාහිරව ඉන්ධන ලබා ගත් පීරිස් එම ක්‍රමවේදයට අනුගත වී තිබෙන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉන්ධන හල් මගින් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී 24ක් කිව් ආර් ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කර තිබෙන බවත් කෝටාව ඉහළ දැමූ පසු එම ප්‍රමාණය 14ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් ඩීසල් නිකුත් කිරීමේදී 28ක් වැඩියෙන් ඩීසල් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රමාණය මේ වන විට 15ක් දක්වා  පහළ ගොස් තිබෙන බවත් සඳහන් කරයි.

කිව් ආර් කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් පිළිබඳව නිරන්තරයෙන් විමර්ශනය කරන බවත් වැරදි සිදුකරන පිරවුම්හල්වලට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් අඛණ්ඩව මෙම නීතිය උල්ලංඝනය කරන පිරවුම් හල් හිමියන්ගේ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන ලෙසට විෂය භාර අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් පෙන්වා දෙයි. පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සැලකීමේදී කෝටාව ඉහළ දැමීමට පෙර පැවති දෛනික ඉන්ධන භාවිතයට සමාන ලෙස ඉන්ධන භාවිතා වී තිබෙන බවද සඳහන් කරයි.

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව පසුගිය 04වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව සතියකට විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාත් සාමාන්‍ය ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර ඇත.

යතුරුපැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාත් බස් රථ සඳහා ලබා දෙන ලීටර් 40ක ඉන්ධන කෝටාව මීටර් 60ක් දක්වාත් කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉඩම් වාහන (Land Vehicle)සඳහා ලබා දෙන ලද මීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාත් ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාත් Quadric Cycle සඳහා ලබා දෙන ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාත්  විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle)  ලබාදෙන ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් වෑන් රථ සඳහා ලබාදෙන ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කෙරිණ.

 ඉන්දික හේවාවිතාරණ