මුහුදු වෙරළේ පැදීමට යොදා ගන්නා රෝද හතරේ යතුරුපැදියක් (ක්වාඩ් බයික්) ගිරිඋල්ල මාර්ගයක පදවාගෙන යද්දී ප්‍රදේශයේ තවත් යතුරුපැදියක පිටුපස ගැටීමෙන්, එම යතුරුපැදිය පදවාගෙන ගිය 21 හැවිරිදි තරුණයකු පෙරේදා (16) මියගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි. මෙම මාරක අනතුර සම්බන්ධයෙන් රෝද හතරේ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන 18 හැවිරිදි සිසුවෙක් ගිරිඋල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබීය. රෝද හතරේ විශේෂ යතුරපැදිය මෙරට ලියාපදිංචි කර නොමැති එකක් බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි කියති. අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන අයෙකි.
එම සිසුවාගේ පියා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් රාජකාරි කරන අයකු බව පොලිසිය කියයි. අනතුරින් පසුව අවට සිටින පිරිසක් සිසුවා අල්ලාගෙන ඔහුට පහරදී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. අනතුරින් මියගොස් ඇත්තේ බෝපිටිය, කන්දවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි අනුෂ්ක ලක්මාල් රුවන් කුමාර නමැති අවිවාහක තරුණයෙකි. ඔහු අවන්හලක සූපවේදියකු වශයෙන් කටයුතු කරන අයෙකි. එම තරුණයාගේ මව විදෙස් රැකියාවක නිරතව සිටින බව පොලීසිය කියයි. ඔහු සිය නැගණිය ද පිටුපස අසුනේ වාඩි කරවාගෙන අලුත් අවුරුද්දට ඥාතියකුගේ නිවෙසට යමින් යතුරුපැදියකින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇතැයිද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
රෝද හතරේ යතුරුපැදිය පැදවූ සිසුවා කොළඹ ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර පවුලේ අය සමග සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඥාතීන් බැලීමට ගිරිඋල්ල ප්‍රදේශයට පැමිණ ඇතැයි පැවසේ. එම සිසුවාගේ ඥාතියකුගේ නිවෙසේ යමහා එෆ් ස්පීඩ් ටැකල් බීච් වර්ගයේ රෝද හතරේ යතුරුපැදියක් තිබී ඇති අතර එම යතුරුපැදි විශේෂය මුහුදු වෙරළේ පැදීමට යොදාගන්නා එකක් බව පොලිසිය කියයි. සිසුවා එම රෝද හතරේ යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී පන්නල ගිරිඋල්ල මාර්ගයේ බෝපිටිය තැපැල් කාර්යාලය අසලදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය තරුණයා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බවද දැනගැනීමට ඇත. අසල තිබූ කණුවක ඔහුගේ හිස වැදී ඇතැයි ද පොලීසිය කියයි. දඹදෙණිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි නදීකා මුණසිංහ මහත්මිය මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය. හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම තරුණයාගේ මරණය සිදුවී ඇති බව සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරි නදීකා මහත්මිය වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇත. ගිරිඋල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු පිරිසක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments