පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසුවේය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල මේ වසරේදී ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (19 වැනිදා) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.
විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීවේය.
පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගැයීම සඳහා සම්බන්ධ වූ කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම කටයුතු සඳහා ඔවුන් සහභාගී නොවුණහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අපොස උසස්පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනෙකු හෝ ඔක්ස්පර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ද එම අවස්ථාව ලබාදීමටත්, තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.
උසස් පෙළ සහිත පාසල්වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දුන්නේය.
වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.
එමෙන්ම 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
පවතින කම්කරු නීති කම්කරුවන්ට බලපාන මූලාශ්‍ර රැසකින් සමන්විත වන බැවින් ඒ වෙනුවට ඒකාබද්ධ තනි කම්කරු නීතියක් (Unified Labor Law) සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත එළැඹෙන මැයි මාසය වන විට ඉදිරිපත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
0 Comments