rice-cooker-burn-incident

ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකරයේ පියනකින් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ බව කියන පියකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි. පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක සිය මව සමග පැමිණ කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.  පිලිස්සීම් තුවාල ලැබූ දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.



දැරිය එදින රාත්‍රි 7.45 ට පමණ බත් පිසිමින් සිටියදී පියා නිවසට පැමිණ ඇති අතර, දැරියගේ මව අසල වෙළෙඳසලකට ගොස් ඇත. රයිස් කුකරයේ පියන විවෘත කර බැලූ සැකකරු ‘මෙතරම් හාල් මොකටද උයන්නේ‍  යනුවෙන් පවසා රයිස් කුකරයේ පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. මුහුණේ පිලිස්සුම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් කරා යොමුකළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා පැවසීය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ