hathe-ape-potha

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත්, ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් එම අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී තිබේ.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිතිය මෙම දැනුම් දීම සිදු කළේ පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ය.

මෙම රැස්වීමට සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමාරක්ෂක අධිකාරිය,

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවන ලෙසත්, අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාරගන්නා ලෙසත් රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මෙහිදී උපදෙස් දුන්නාය. තවද මෙම කමිටුවේ වගකීම් මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත්, ඒ සදහා වන කාලරාමුවක් මීළඟ රැස්වීමේදී සකස් කිරීමට අපේක්ෂා කරන බවත් ඇය පවසා සිටියාය.

වයස අවුරුදු දහසය ඉක්මවූ පාසල් සිසුන් ලිංගික හා ප්‍රප්තක සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට  පැවසූහ. එසේ වුවද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කල සිටම ලිංගික හා ප්‍රප්තක සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවද කමිටුව විසින් අවධාරණය කෙරිණි.

මෙම වැඩසටහනේ පළමු අදියරේදී පෙළපොත් මුද්‍රණය නොකළද  අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවද මෙහිදී සාකච්ඡා විය.

ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම සදහා ලිංගික හා ප්‍රනක සෞඛ්‍ය පිළිබද ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ආගමික නායකයන්, දෙමාපියන්, ජනමාධ්‍ය ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහන්ද කමිටුව විසින් සංවිධානය කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි. විවාහයෙන් පසු පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් කාන්තාවන්ට ලබාදෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබඳ අවබෝධය ලබාදිය යුතු බවටත් මෙහිදී යෝජනා විය
දිනේෂ් සමරකෝන්