තේ වත්තක අඩිපාරක් සම්බන්ධයෙන් වූ ආරවුලක් මුල්කරගෙන එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ නිවසකට කඩාවැදී නිවෙස් හිමියාගේ බිරියට අතවර කිරීමට උත්සාහ දැරූ බව කියමින් අසල්වැසියන් එක්ව එසේ අතවර කිරීමට මුල්වූ පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බව බුලත්කොහුපිටිය පොලිසිය කියයි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ 11 දා අලුයම් කාලයේදී නෙළුවන ප්‍රදේශයේදීය.ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකි.මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේ මෙම නිවසට කඩාවැදී ගැටුමක් ඇති කරගෙන ඇත්තේ අඩිපාර සම්බන්ධයෙන් වූ ඉඩම් ආරවුල මුල්කරගෙනය.
මෙහිදී මෙම පුද්ගලයා පැමිණ ඇත්තේ තවත් කිහිප දෙනෙක් සමඟිනි. ඒ වන විට බීමත්ව සිටි ඔහු නිවැසියාගේ බිරියට අතවර කිරීමට පවා තැත්කර ඇතැයි ද ඇය සම්බන්ධයෙන් අසහ්‍ය වචන පවා පවසා ඇති බවද පොලිසිය කියයි.
අනතුරුව ඔවුන් අසල නිවසකට ගොස් මත්පැන් පානය කර නැවත 11 දා අලුයම් කාලයේදී මෙම නිවසට පැමිණෙන විට අසල්වැසියන් පිරිසක් එක්ව පහර දී ඇති බව පොලිසිය කියයි. මෙහිදී ගැටුමට මුල්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ එම පහර දීම් සහ පිහියකින් ඇනීමකිනි.
මෙහිදී මුලින්ම පොලිසිය අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන 11 දා රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත්කර ඇත. එහිදී ඔවුන් 04 දෙනා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර කාන්තාවගේ සැමියා ද සිටින බව පොලිසිය කියයි.මෙම සැකකරුවන් ද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ
0 Comments