පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාගැනීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොළොන්නරුව මුලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර පොලිස් පරික්ෂකවරයා පනස් පස් වන වියේ පසුවන අයකු වන අතර ඔහු පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශිර්ෂය පොලිස් නිලධාරි 12 දෙනකුගේ නම් ලැයිස්තු සකස් කර ඔවුනට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා විසින් ඉදිරිපත්
කරනු ලැබ ඇතැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම ලේඛනය ගැන ඇති වූ සැකයක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම රහස් පොලිසියට බාර දී තිබිණි.
මෙය ව්‍යාජ ලේඛනයක් බව රහස් පොලිසිය කළ පරීක්ෂණවල දී තහවුරු වූ බවද එම නිලධාරියා කීය.
මෙය ව්‍යාජ ලේඛනයක් බව තහවුරු කර ගැනීමෙන් පසුව මෙම පොලිස් පරික්ෂක අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සැකකාර පොලිස් පරික්ෂක 2015 වසරේ සිට 2022 වසර දක්වා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කර පසුව පොලොන්නරුව මූලස්ථාන පොලිසියට ස්ථානමාරුවීම් ලබා පැමිණ සිටි අයකු බව පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකාර පොලිස් පරික්ෂක අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ අතුරුදන් වුවන් පිළිබඳ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments