siripura-incident

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් දෙහිඅත්තකන්ඩිය මැදගම්පිටි ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී මත්ද්‍රව්‍ය ඉල්ලා පුද්ගලයන් දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයා රත්නපුර පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයකු බවත් අනෙක් සැකකර ඔහුගේ මිතුරකු වන දෙහිඅත්තකණ්ඩිය  ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු බව ද පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා පෙරේදා 17 රාත්‍රී 8.30ට පමණ එම නිවසට කඩා වැදී මත්ද්‍රව්‍ය වැටලීමකට පැමිණි බව පවසා එහි සිටි පුද්ගලයන් දෙදෙනකුට පහර දෙමින් මත්ද්‍රව්‍ය ලබාදෙන ලෙසට බලකර ඇති බව පොලිසිය පවසයි. 

සැකකරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත නිවැසියන් ඔවුන් දෙදෙනා සිය ග්‍රහණයට ගෙන සිද්ධිය සිරිපුර පොලිසියට දැනුම් දී ඇත.  එම දැනුම් දීම අනුව පැමිණි පොලිස් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අන්අයකු ලෙස පෙනී සිටීම, නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වීම, පුද්ගලයකුට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්  මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා කොල්ලකෑමේ අදහසින් මෙම නිවසට ඇතුළු වී ඇති බවට පොලිසිය සැක කරයි. සිරිපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය