spc-bonus

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී එහි සේවකයන් සඳහා නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) සහ කාර්ය සාධන දිරි දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවා ඇතැයි නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.  සංස්ථාවේ එක් සේවකයකුට රුපියල් 13,500 බැගින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න මුදලක් ප්‍රසාද දීමනා ලෙස 2021 වර්ෂයේ දී නීතියට පිටින් ගෙවා ඇති බව ද එම වාර්තාවේ සඳහන්ය.



සාමූහික ගිවිසුමක් සහිත සංස්ථාවකට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ (PED/3/2018) සහ (PED/03/2021) අදාළ කර ගත නොහැකි වන නමුත එම චක්‍රලේඛ විධිවිධානවලට අනුව යමින් එම ප්‍රසාද දීමනා ගෙවා ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. සේවකයකුට මාසික වේතනය බැගින් සියලු සේවකයන්ට කාර්ය සාධන දිරි දීමනා ලෙස රුපියල් කෝටියකට වැඩි මුදලක් 2021 වර්ෂයේ දී භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ද සේවකයන්ගේ ඉතිරි වාර්ෂික නිවාඩු වෙනුවෙන් ද එම වර්ෂයේ දී රුපියල් හත් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි එහි දැක්වෙයි. මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2021 කාර්ය සාධන වාර්තාවේය.

සුජිත් හේවාජුලිගේ