අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්. යූ. ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි ශ්‍රේණිවලට ළමයින් 17 දෙනකු ඇතුළත් කර තිබෙන බව විගණන පරීක්ෂණයකදී හෙළිව ඇත.

අදාළ සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබූ සියලුම ලිපි ශීර්ෂ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියම ලිපි ශීර්ෂ නොවන බව අනාවරණය වී තිබේ.



2018 - 2021 අතර කාලයේදී විදුහලේ 02, 03, 04, 07, 08 හා 09 ශ්‍රේණිවලට මෙම ළමයින් ඇතුළත් කරගෙන තිබෙන බව විගණනයේ දී හෙළිව ඇත.

මෙම සිසුන් ඇතුළත් කිරීම සඳහා යොමුකර තිබූ ලිපිවල සඳහන් දෙමාපියන්ගේ තනතුරු හා ලිපිනයන් බොහොමයක්ද ව්‍යාජ ඒවා වන අතර මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඇතුළත් කරගන්නා ලද ළමයින් 17 දෙනාට අමතරව අදාළ කාලය තුළ ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්ති සඳහා චක්‍රලේඛවලට පටහැනිව ළමයින් 180 දෙනකු ඇතුළත් කරගෙන තිබෙන බවද හෙළිව තිබේ.



ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර එම ලිපි ලේඛනවල සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගැනීමට කඩිනමින් කටයුතු කළයුුතු යැයිද විගණන පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මධ්‍යම පළාතේ කිසිදු පාසලකට ළමයින් ඇතුළත් කරගන්නා ලෙස දැනුම් දෙමින් තමන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බවත්, ශාන්ත අන්තෝනි බාලිකාවට ළමයින් ඇතුළත් කරගැනීම සඳහා යොදාගෙන තිබෙන තම අත්සන ව්‍යාජ එකක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක ලිඛිතව දැනුම් දී තිබේ.

විගණන වාර්තාවේ පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමුකර ඇත.