texas-shooting-leaves-dead-including-8-year-old

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ බීමත්ව සිටි පුද්ගලයෙකු තම අසල්වැසි නිවසට පැමිණ කළ සමූහ වෙඩි තැබීමක් නිසා 8 හැවිරිදි දරුවෙකු ඇතුළු 5 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝාතකයා තවම නිදැල්ලේ පසුවන අතර ඇමරිකානු පොලිසිය ඔහු ලුහුබඳිමින් සිටී.
 සැන් ජැසින්ටෝ ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයට අනුව, සිකුරාදා රාත්‍රියේ වෙඩි තැබීම සිදුව ඇත. ටෙක්සාස් හි ක්ලීව්ලන්ඩ් නිවසකදී 8 හැවිරිදි දරුවෙකු ඇතුළු පස් දෙනෙකුට මාරාන්තික ලෙස වෙඩි තැබූ තුවක්කුකරු අසල්වාසී පදිංචිකරුවෙකු බව කියැවේ.ළදරුවෙකු රාත්‍රී නිදා ගැනීමට අවශ්‍ය නිසා ශබ්ද නවත්වන ලෙස කරන ලද ඉල්ලීමක් නොරිස්සූ සැකකරු අසල්වාසී නිවසට රයිෆලයක්ද රැගෙන පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


38 හැවිරිදි ෆ්‍රැන්සිස්කෝ ඔරොපේසා ලෙස හඳුනාගෙන ඇති මැක්සිකානු ජාතික සැකකරු, සිකුරාදා රාත්‍රියේ ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 11:30 ට පමණ නිවසකට පැමිණ මෙම සමූහ වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.
මත්පැන් පානය කර සිටි සැකකරු “මගේ ඉස්සරහ මිදුලේ මට ඕන දේ කරන්නම්” යැයි කියමින් රණ්ඩු කළ බව දැනට ලැබී ඇති සාක්ෂි අනුව වාර්තාවී ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් විමර්ශකයන්ට පවසා ඇත්තේ තුවක්කුකරු මත්පැන් පානය කරමින් සිටි බවයි.
ඊළඟට සිදුවූයේ කම්පන සහගත දෙයකි. මෙම පුද්ගලයා තම අසල්වැසියාගේ නිවසේ ඉදිරිපස දොර ළඟට ගොස් වෙඩි තැබීමට පටන් ගත් බව පොලිසිය පවසයි. එක් ගොදුරක් සාලයට යන දොරකඩින් හමු විය. තවත් ගොදුරක් සාලයේ තිබී හමුවිය. උඩුමහලේ වෙඩි වැදී මිය ගිය තවත් කාන්තාවන් දෙදෙනෙකු සොයා ගත් අතර,


වින්දිතයන්ගේ නිවසේ දොර සීනුව කැමරාවේ සැකකරු තම රයිෆලය සමඟ ළඟා වන අයුරු සටහන් වූ බවත් වාර්තාවී ඇත.
පුද්ගලයින් කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති අතර නිදන කාමරයක සිටි කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකු දිවි ගලවා ගෙන ආරක්ෂා වන්නට සමත්ව ඇත.
මියගිය අය සෝනියා ආර්ජන්ටිනා ගුස්මන් (25) ඩයනා වෙලැසෙක් (21) ජූලිසා මොලිනා රිවේරා (31) ජෝස් ජොනතන් කැසරෙස්, (18) සහ ඩැනියෙල් හෙන්රි ලාසෝ (8) ලෙස හඳුනාගෙන ඇත.
මියගිය අය හොන්ඩුරාස් ජාතිකයින් වූ අතර එම නිවසේ පුද්ගලයන් 10 දෙනෙකු ජීවත් වූ බව වාර්තා විය. මියගිය අයගෙන් හතර දෙනෙක් වැඩිහිටියන්ය, එක් පිරිමි සහ ගැහැණු තිදෙනෙක් වන අතර බාලයා යන්තම් අට හැවිරිදි විය. රෝහල් ගත කළ අනෙක් තුවාලකරුවන් තිදෙනා කුඩා දරුවන්ය.

පොලිස් විමර්ශකයින් ඝාතකයාගේ ජංගම දුරකථනයෙන් ලුහුබැඳ ගිය නමුත් සෙනසුරාදා සවස සිට සංඥා අතුරුදනවූ බව පැවසේ.
"ඔහු දැන් ඕනෑම තැනක සිටිය හැක" පොලිසිය මාධ්‍ය හමුවකදී පැවසීය.
එෆ්බීඅයි හි හූස්ටන් ක්ෂේත්‍ර කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සැකකරු අල්ලන්නට සහාය වන බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රාදේශීය විනිසුරුවරයා වරෙන්තු නිකුත් කර තිබෙයි.