පාස්කුදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා මරාගෙන මැරෙන බේම්බකරුවන් පුහුණු කිරිමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීමට කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (19) අලුයම කළ වැටලීමකින් සැකපිට අත්අඩංගුවට ගත් බව එම බළකාය පවසයි.
නිධානය ගොඩගැනීමට පුද පූජා පවත්වමින් සිටි බව කියන කට්ටඩියකු ද වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. මෙම වත්තේ කොටසක් පොලීසියේ භෝජනාගාර ඉදිකිරීමට ද තව කොටසක් පොලිස් විශේෂ කාර්ය බළකායට ද පවරා තිබිණි යැයි ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. පොලිස් විශේෂ කාර්ය බළකායට පවරා තිබූ ඉඩම් කොටසේ පොලිස් විශේෂ කාර්ය බළකාය අනු කණ්ඩයක් පිහිටා තිබිණි. නිධානයක් හෑරීමට කැණීම් කටයුතු සිදුකරමින් සිට ඇතැයි කියන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුඛණ්ඩය පිහිටා තිබූ කොටසේ යැයි කියති.
එම අනුඛණ්ඩය රාජකාරිය සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වනාතවිල්ලුව පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අත්අඩංගුවට ගත් එක් කොස්තාපල්වරයෙකු බදුල්ල, තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනිත් කොස්තාපල්වරයා කුලියාපිටිය, මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තාගේ පුහුණු කඳවුර සහ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තිබිය දී රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබ තිබුණේ 2019 වසරේ ජනවාරි මස 16 වැනිදාය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments