ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා පැවැති දේශපාලන රැළියක් අමතා මෙසේ පැවසීය.
"අපි මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් කාලේ. සමහරු හිතනවා මේ ඉන්ටවල් එකක් නෙමේ මේ රට ගොඩ යන්න හදන්නෙ කියලා. අපේ රට වත්කම්  උපයන්නෙ නැතුව වියදම් කරනවා. විකුණම් කෑවා ටිකක්, ඊට පස්සේ ණය ගන්න පටන් ගත්තා. ඩොලර් බිලියන 87ක් තරම් විශාල ණය කන්දක් තිබ්බා. ඒකෙන් 41 විතර විදේශ ණය.

නිශ්පාදන ආර්ථික උපාය මාර්ගයකට අවතීර්ණ වෙන්නෙ නැතුව මේ අර්බුදයෙන් ගොඩ එන්න කාටවත් බෑ. දැනුත් අපිට ආදායම් ලැබෙන මාර්ග ටිකක් මේ ණය ගැනීම හරහා විකුණන්න පටන් අරන් තියෙනවා. පරණ ක්‍රමේටම ආපහු යන්න වෙනවා.

අලුත් මඟ තමයි අපේ රටට අලුත් සාමාජයක් ඕන කියන එක. 1971 අරගලෙත් ඒ අරමුණෙන්ම සටන් වැදිච්ච අරගලයක්.  දැන් මේ යන විදියට රට ගොඬදාන්න වෙන්නෑ.
මහ බැංකු අධිපති නන්දලාල් මහත්තයා කියනවා ඉදිරිකාලය තවත් අමාරු වෙන්න පුළුවන් කියලා. එයා යන ගමන යනකොට අපේ රටේ කවුරුවත් ඉතුරු වෙන්නෙ නෑ.

දැන් මේ දවස්වල තියෙන ලොකුම මිත්‍යාව තමයි ණය ගත්තම රට දියුණු වෙයි කියලා. අපි දන්නවා යහපාල ආණ්ඩුව කාලේ, මෙ ජනාධිපති අගමැති කරපු කාලේ ජාත්‍යන්තර බැදුම්කර හරහා මේ රනිල් වික්‍රමසිංහ අරන් තියෙන ණය කොච්චරද? ඩොලර් බිලියන දොළහමාරක්. අවුරුදු 4ක් තුළ අරගෙන හදන්න බැරි වෙච්ච රටක් ඩොලර් මිලියන 2900ක් අරන් අවුරුදු 4කට හදන්න පුළුවන්ද කියන එක හිතුවොත්. එහෙම විශ්වාස කරනවනම් ඒක ඉතින් මොළේ පරීක්ශා කරගත යුතු කාර්‍යයක් ඔවුන්ගේ. හදන්න බෑ.

රටකට ආණ්ඩුවක් ඕනේ රාජ්‍ය ආයතන පාඩු ලබනවනම් ඒක විකුණගන්නද? නැත්තම් පාඩු ලබන්නේ ඇයි කියලා හොයලා ඒවා ලාභ ලබන තත්වෙට ගේන්නද? ඔය මොකක් හරි සේල් කොම්පැණියකට දුන්නහම විකුණනවා. ජනතාව තුළ මතයක් හදනවා පාඩු ලබන ඒවා තියලා වැඩක් නෑ කියලා. ජනතාව හිතනවා වික්කට පස්සෙ හරියයි කියලා.

විකුණුවට පස්සේ රට හැදෙනවනම් දැන් අපි ඉන්න ඕනේ සුර ලෝකෙටත් එහා ගිහිල්ලා.

තරඟේ වැඩිපුරම තියෙන තැනයි ගමනාගමනය. දැන් ගමනාගමනය හොඳයි ද? තරඟේ වැඩි වුනාම මානව ගරුත්වය කෙලෙසෙනවා. සේවාව බින්දුවට වැටිලා. ඒවා මාෆියා බවට පත් වෙලා. ජාතික ආරක්ෂාව සම්බන්ධව වන සම්පත් විකුණලා දාන එක ද්‍රෝහීකමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදළ ඉස්සරහ දණ ගහලා රනිල් වික්‍රමසිංහ ද්‍රෝහිකම් කරනවා."