කූට ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චැඩ් සහ යේමන ජාතිකයෝ දෙදෙනෙක් ඊයේ (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කරනු ලැබූහ. 39 හැවිරිදි යේමන ජාතිකයා සහ 36 හැවිරිදි චැඩ් ජාතිකයා ඊයේ උදෑසන 09.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ් 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ඉන්පසුව මොවුන් දෙදෙනා මෙරටට ඇතුළු වීමට ශ්‍රී ලංකා වීසා බලපත්‍ර නිෂ්කාශනය කර ගැනීම සඳහා ගුවන් තොටුපළ පර්යන්තයේ පැමිණීමේ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ සිය ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ. එහිදී ඔවුන් සංචාරක වීසා බලපත්‍ර අයදුම් කර තිබූ අතර,
ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව ඇති වූ සැකය මත, ඒවා ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමු කර තිබේ. ඒ අතර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන්ගේ ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී ඔවුන් අයත් යේමන සහ චැඩ් රාජ්‍යයන් මගින් නිකුත් කළ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර දෙක සොයාගෙන තිබේ.
ඊට අමතරව මෙම යේමන ජාතිකයාගේ ජංගම දුරකතනය තුළ තිබී බෙල්ජියම බලා යාමට සැලසුම් කළ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී සොයාගෙන තිබේ. මේ අතර මොවුන් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර කූට ලෙස සකස් කර ඇති බව තහවුරු වූ අතර,
ඔවුන් ඒවා තැරැව්කරුවකු මගින් සකස් කර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ.
මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා භාෂා ගැටලුව තදින්ම බලපා තිබූ අතර ඔවුන් ඉංග්‍රීසි භාෂාව නොදන්නා බව හඟවා තිබේ. ඒ අනුව මොවුන් දෙදෙනා ආපසු ඩුබායි නුවර වෙත ඔවුන් පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කාර්යාලය වෙත භාර දීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ. මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන පී.ජී.ඩී.ආර්.එස්. සෙනෙවිරත්න සහ එච්.එම්. ඩබ්ලිව්. උදයකුමාර මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී එච්.ඒ.එස්. චන්ද්‍රසෝම මහතා සිදු කළේය.
ටී.කේ.ජී. කපිල
0 Comments