udugama-incident

එළඹෙන අලුත් අවුරුද්ද සැමරිමට මුදල් සොයා ගැනීමේ අරමුණෙන් එළ හරකකු මසට විකිණීම සඳහා අත් පා එකට තබා ගැට ගසා ත්‍රිරෝද රථයක පටවාගෙන ප්‍රවාහනය කරමින් සිටිය දී සිදුවූ මාරක රිය අනතුරකින් එම ගවයා මස් පිණිස විකිණු බව කියන පුද්ගලයා මිය යාමේ පුවතක් උඩුගම පොලිසියෙන් වාර්තා විය. එළ හරකා ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබුණේ පසුපස කොටස වැඩි ඉඩ ප්‍රමාණයකින් යුත් ත්‍රීරෝද රථයකිනි.

මෙම අනතුරින් එළ හරකාට කිසිදු හානියක් සිදු වී නොමැත.

අත්පා එකට ගැට ගසා තිබූ හරකාගේ එම ලණු, අනතුරින් පසුව එතැනට පැමිණි පිරිසක් විසින් කපා දැමීමෙන් පසු එම ගවයා අනතුර සිදු වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගෙවා බැඳ දමා සිටි ගව ගාල වෙත ගොස් සිටිය දී හමු වූ බව උඩුගම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.  මෙම ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇත්තේ හරකා මස් පිණිස ඝාතනය කිරීමට මිලදී ගත් පුද්ගලයා විසින් යැයි කියති. මෙම හරකා මස් පිණිස විකුණූ බව කියන පුද්ගලයා ත්‍රිරෝද රථයට ගොඩ වී ගමන් කරමින් සිට ඇත්තේ රියැදුරා පොලිසියට අසුනොවී   ඝාතනාගාරය වෙත යාමට ඇති කෙටි ගමන් මාර්ගය පෙන්වීමට යැයි ද පොලිසිය කියයි.



ත්‍රිරෝද රථ රියැදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව රන්විල පාලම අසලදී රථය පෙරළී පාරෙන් ඉවතට පැන කටු පොල් ගසක වැදී අසල තිබූ බෑවුමට පෙරළී ඇතැයි පොලිසිය පවසයි. හරකා මස් පිණිස මැරීමට මිලදී ගත් බව කියන පුද්ගලයා ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇති අතර ඔහු ද තුවාල ලබා ඇතැයි එම පොලිස් නිලධාරියා කීය. මෙම මාරක අනතුරින් මිය ගොස් ඇත්තේ පී. කුමාර මාස්කෝරාල නමැති 47 හැවිරිදි අයෙකි. මොහු මුරකාර රැකියාවක යෙදී සිටින අයකු බව ද පොලිසිය පවසයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය