university-graduates

විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාරී ලැයිස්තුව තුළ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පක්‍ෂා කළ යුතු බවට සඳහන් කර නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.  උසස් පෙළ උත්තර පත්‍ර පක්‍ෂා කරන්නේ, සේච්ඡා සේවයක් ලෙස බවත්, ඒ සඳහා අචාර්යවරුන් බඳවා ගන්නේ, විභාග දෙපාර්තමේන්තු විසින් අයදුම් පත් කැඳවීමෙන් වන අතර, ඒ අනුව උත්තර පත්‍ර පක්‍ෂා කිරිමට කැමති ආචාර්යවරුන් අයදුම්පත් ඉදිරිපත් කරන බවත් එම  සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කළ විමසීමකදී පැවසීය.



වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු අය කර ගැනීමේ ක්‍රමය ලිහිල් කරන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව උසස් පෙළ උත්තර පත්‍ර පක්‍ෂා කිරීමේ කටයුතුවලින් ආචාර්යවරුන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය. ඒ අනුව බදු අයකර ගැනීම් ලිහිල් කරන තෙක් ආචාර්යවරුන් විසින් බැංකුවලින් ලබාගෙන තිඛෙන ණයවලට අදාළ වාරිකා ගෙවීමට මාස 06ක  සහන කාලයක් ලබාදෙන බවට හා තවත් යෝජනා කිහිපයක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය අද (21දා) රැස් වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, බැංකු පොලී ඉහළ යාම නිසා හා අසාධාරණ ලෙස බදු අයකර ගැනීම් නිසා සමහර ආචාර්යවරුන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් මේ වනවිට නොලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු ලිහිල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට හා බැංකු පොලී සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාර්න් සිදුකළ ප්‍රකාශවලට අනුව පසුගිය 17වැනිදා සිට විශ්විද්‍යාලවල කටයුතු ආරම්භ කළ බවද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා සඳහන් කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි. මීට අමතරව විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර  ඇත.
ඉන්දික හේවාවිතාරණ