අඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 අවුරුදු 10ක කාලය තුළ 45%ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක හෝමාගම හා කොළොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා ශීඝ්‍රයෙන් නාගරිකරණය වී ඇති බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා සදහන් කරයි.
එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශද ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවති බවද ඒ මහතා පවසා සිටියේය. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව මත ඉදිරි කටයුතු සිදුකරන බවද ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි. ශ්‍රී ලංකාවේ නාගරිකරණය සම්බන්ධයෙන් අවසාන වරට සමීක්ෂණයක් සිදුව තිබෙන්නේ, 2012 වසරේදීය. එම සමීක්ෂණයට අනුව මෙරට නාගරිකරණය 18%ක් ලෙස සඳහන් විය.
ජනගහන ඝනත්වය, නිවාස, කිලෝමීටර 10ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළෙඳ සැල්, සුපිරි ඇඳුම් වෙළෙඳ සැල්, ඉන්ධන හල්, බැංකු, පෞද්ගලික පාසල් හා පෞද්ගලික රෝහල්, කිසියම් ප්‍රදේශීය සභාවක ග්‍රාම නිලධාරී වසමක් තුළ පිහිටා ඇති
තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබාදී ඇති නිවාස, පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම, ප්‍රාදේශීය සභා බලප්රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක මත පදනම්ව කිසියම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.
සමිත් බෝධිපක්ෂ
0 Comments