වදුරඹ ප්‍රදේශයේ පාසලක දහවෙනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දී කඩදාසි කපන පිහියකින් කන කපා බරපතළ තුවාල සිදු කළ බව කියන පාසල් සිසුන් හතර දෙනකු සහ තරුණයකු ඊයේ (3) අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. පහරදීම නිසා සහ කන කැපීම නිසා තුවාල ලැබූ සිසුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකාර සිසුහු හතර දෙනා නාගොඩ ප්‍රදේශයේ පාසල් තුනක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන අය වෙති.



මෙම සිසුන් හතර දෙනා සමග අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ගාල්ල උඩලමත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.  වඳුරඹ ප්‍රදේශයේ පාසලක දහවෙනි වසරේ ඉගෙනුම ලබන සිසුවා බස් රථයකින් පැමිණ ඊයේ දහවල් එකයි තිහට බෝවිටිය මුල්ල හන්දියෙන් බස් රථයෙන් බැස ඇත. ඒ අවස්ථාවේ එතැනට කඩා වැදුණු මෙම සැකකරුවන් මුලින්ම මෙම සිසුවාට පහර දී ඇතැයි පොලිසිය කියයි. සැකකරුවන් පස් දෙනාගෙන් එක් අයෙක් කඩදාසි කැපීමට යොදා ගන්නා පිහියකින් සිසුවාගේ කන කපා ඇතැයි නාගොඩ පොලිසියේ නිලධාරියෙක්  පැවැසීය.

මේ අවස්ථාවේ එම සැකකරුවන්ගෙන් මිදී වඳුරඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවා අසල තිබූ කැලයකට පැන සැඟවී ඇතැයි ද පොලිසිය කියයි. සිසුවාට පහර දී කන කැපී යයි කියන සිසුන් සිව්දෙනා සහ තරුණයා අල්ලා ගත් ඒ අවට සිටි පිරිසක් ඔවුනට පහර දී ඇතැයි දැන ගන්නට ඇත. නාගොඩ පොලිසියට

මේ බව දැන ගැනීමට ලැබී පොලිස් කණ්ඩායමක් එහි ගොස් සැකකාර සිසුන් සිව්දෙනා සහ අනෙක් තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පහර කෑමට සහ කන කැපීමට ලක්වූ සිසුවා අත්අඩංගුවට ගත් සැකකාර සිසුවකුගේ ඡායාරූපයක් ජංගම දුරකතනය මගින් විකෘති කළේ යැයි කියමින් මෙවැන්නක් සිදු කර ඇති බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇතැයි කියති. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අද 4 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය