waskaduwa-incident

වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවළකගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපළ බහා තිබූ සේප්පුව (ලොකරය) පෙරේදා (5වැනිදා) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි

කළුතර උතුර පොලිසිය කියයි. එම දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් කිහිපයක් අත් පළඳනාවක් මුදු, ඔරලෝසුවක් ඇතුළු තවත් දෑ ද වන බව පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.


මීට සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර පෙරේදා (5) රාත්‍රි නවාතැන් ගෙන සිටි කාමරයට පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට සූක්ෂම ලෙස ඇතුළුවී මෙම ලොකරය රැගෙන ගොස් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි.

සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඉතා ඉක්මණින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.


•බිමල් ජයසිංහ-බණ්ඩාරගම