350-doctors-retire

රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරුන් 350 කට ආසන්න පිරිසක් ලබන මාසයේ දී එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු පමණ එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50 ක් පමණ වසා දැමීමට සිදුවන බව කී එම නිලධාරියා, දුෂ්කර ප්‍රදේශ ඇතුළු රට පුරා ග්‍රාමීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක් පමණ සේවය කරන බව ද සඳහන් කළේය.

ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 400 දෙනකු, විශේෂඥා වෛද්‍යවරුන් 300 දෙනකු සහ දන්ත වෛද්‍යවරුන් 50 දෙනකු ඇතුළු සමස්ත වෛද්‍යවරුන් 1000 කට අධික පිරිසක් මෙම වසරේ දෙසැම්බර් වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද එම නිලධාරියා කීය.

චක්‍රලේඛයක් හරහා ලබන ජූනි 30 සහ දෙසැම්බර් 31 අදාළ වෛද්‍යවරුන් එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව කී එම නිලධාරියා සඳහන් කළේ ග්‍රාමීය රෝහල්වල මේ වන විට සේවය කරන ඇතැම් වෛද්‍යවරුන් දිනකට බාහිර රෝගීන් 300 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කරන බවත්ය.

ලියාපදිංචි වෛද්‍යවරුන් 350 ක් පමණ විශ්‍රාම ගැන්වීමෙන් ග්‍රාමීය රෝහල් රැසක බාහිර රෝගී අංශ වසා දැමීම නොවැළැක්විය හැකි බවත්, ඒ හේතුවෙන් පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අපහසුතාවට පත්වීමට සිදුවිය හැකි  බවත් සඳහන් කරයි. මෙම තත්වය පිළිබඳව කළ විමසුමක දී ජ්‍යෙෂ්ඨ ලියාපදිංචි වෛද්‍යවරයකු පැවසුවේ, පොළොන්නරුව ඇතුළු දුෂ්කර ප්‍රදේශ රැසක රෝහල්වල මේ වන විටත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් බෙහෙත් හිඟය හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ට බෙහෙත් තුණ්ඩු දෙකක් ලිවීමට සිදුවී ඇති බවත්ය.



මෙම වසරේ සීමාවාසික පුහුණුවට 1600 ක් බඳවා ගැනීමට නියමිතව තිබුණ ද 1400 ක් පමණක් අයැදුම් කර තිබූ බව කී එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා, එම පිරිසෙන් ද වෛද්‍යවරුන් 300 ක් මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බව ද සඳහන් කළේය. ලබන ජනවාරි මස තෙක් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත්කිරීමේ අවස්ථාවක් නොමැති බවත්, මෙම තත්වය හමුවේ රට පුරා ප්‍රාදේශීය රෝහල් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අවදානමකට පත්වන බවත් ඔහු කීය. ඩෙංගු පැතිර යෑම නිසා වර්තමානයේ දෛනික රෝගීන් සංඛ්‍යාව තෙගුණ වීමෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් දිය යුතු බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමක දී පැවසුවේ එම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවත් වෛද්‍යවරුන් කොන්ත්‍රාත් ක්‍රමයට නැවත සේවයට ගැනීමට සැලසුම් කර ඇති බවත්ය.
යොහාන් භාසුර