අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා, එහි තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේලා, පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම දෙකක් සහ කුඩා කරඬු කිහිපයක් කිසිවකු විසින් සොරාගනු ලැබ ඇති බවට ඊයේ (1) පැමිණිල්ලක් ලැබුණු බව අත්තනගල්ල පොලීසිය පවසයි.
ධාතු මන්දිරයේ තිබූ පඬුරු පෙට්ටියක් කඩා, එහි තිබූ මුදල් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අලවල සමිත හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.
ධාතු මන්දිරයේ ජනේලය විවෘත කර, ග්‍රිල් එක ගලවා ඇතුළු වූ පුද්ගලයකු මේවා සොරාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය කියයි. මෙම ධාතු මන්දිරය පසුගිය අප්‍රේල් මාසයේ දිනක වසා දැමීමෙන් පසු එය පිරිසිදු කිරිමට අලවල සමිත හිමියන් ඊයේ උදෑසන දොර විවෘත කළ අවස්ථාවේ කිසිවකු මෙම පෞරාණික වස්තු සොරාගෙන ගොස් ඇති බව දැක ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments