athurugiriya-incident

අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේ නිවසක සිටි ගැබිනි කාන්තාවකගේ අතපය සහ කට ගැට ගසා පුටුවකට තබා බැඳ ඇයගේ කලවා ප්‍රදේශයට පිහියකින් ඇන රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං භාණ්ඩ කොල්ල කා පලා ගිය පුද්ගලයා ඊයේ (09) දින මාලබේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. මෙම කොල්ලකෑම සඳහා සැකකරු පැමිණ ඇත්තේ පිහි පහරට ලක් වූ කාන්තාවගේම සහෝදරයෙකු සමග බවත් මොවුන් දෙදෙනාම දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි.

පිහි ඇනුමට ලක් වූ කාන්තාව හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මේ වන විට සුවය ලබමින් සිටින බවත් ඇයගේ දරු ගැබට හානියක් සිදුව නොමැති බවත් හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම කොල්ලකෑම අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිය විසින් සැළසුම් කර ඇති බවත් එම සැළසුම ක්‍රියාත්මක කිරීමට හෙරොයින් භාවිතය සහ සොරකම් හේතුවෙන් අදාළ කාන්තාවගේ පවුලෙන් ඉවත් කර තිබෙන සහෝදරයා ඉතා සූක්ෂම ලෙස යොදාගෙන ඇති බවත් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ගැනීමට හැකි වූ බව අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගැබිනි කාන්තාව නිවසේ තනිව සිටින අවස්ථාවේ දී ඇයගේ සහෝදරයා එම නිවසට පැමිණ වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර සිය සහෝදරයා ගැන හොඳින්ම දන්නා කාන්තාව එම අවස්ථාවේදී සිය ගෙල බැඳ තිබූ මාලය ගලවා ඇද මෙට්ටය යටට විසිකර කුස්සියට ගොස් වතුර වීදුරුව ලබා දීමට සූදානම් වූ විට ඇයගේ සහෝදරයා සහ සැකකරු විසින් ඇය අල්ලාගෙන ඇයගේ දෙඅත් දුරකතන රැහැනකින් සහ කට රෙදි පටියකින් බැඳ පුටුවකට තබා ගැට ගසා ඇත.

  සැකකරු එම කාන්තාවගේ ගෙලට පිහියක් තබාගෙන සිටිය දී ඇයගේ සහෝදරයා විසින් ඇයගේ නිවසේ අල්මාරි කබඩ් අවුස්සා එහි තිබූ රත්‍රං භාණ්ඩ සොයා ගෙන ඇති අතර සැකකරු ඇය පැළදි සිටි රත්‍රං අත් පළඳනාව ගලවාගෙන ඇයගේ කලවා ප්‍රදේශයට පිහියෙන් ඇන පළාගොස් ඇති බවද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එලෙස පලාගොස් සිටි සැකකරු අදාල කාන්තාවගෙන් සොරාගත් අත් පළඳනාව උකස් කිරීම සඳහා මාලඹේ ප්‍රදේශයට පැමිණ සිටිය දී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල වනාත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. මෙම මංකොල්ලයට අදාළ සැකකරුගේ බිරිය බව කියන කාන්තාව සහ තුවාල ලැබූ කාන්තාවගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බවත් අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.
කේ. බුද්ධික කුමාරසිරි