australia-government-inflation

ඔස්ට්‍රේලියාව තුළ පවතින ජීවන වියදම් අර්බුදය මගහැරවීමට ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 10ක් ලබාදීමට පොරොන්දු වන බව එරට මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය පවසයි. ඒ අනුව, හඳුනාගත් එරට නිවාස සහ ව්‍යාපාර වෙත මෙම මුදල් ලබාදෙන බවත්, ඒ හරහා උද්ධමනය ඉහළ නොයනු ඇති බවත් රජයේ අදහස වී තිබේ. අද දිනයේදී එළිදැක්වීමට නියමිත රජයේ මීළග අයවැය යටතේ ජීවන වියදම් සහන සැලසුමක් ලෙස මෙය හදුන්වාදී තිබේ.

විශේෂයෙන්ම මෙම සැලසුම ඍජුවම මිල පීඩනය සහ උද්ධමනය ලිහිල් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ. අද වනවිට ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 7%ක අගයක් ගන්නා අතර, එය වසර 30කට පසුව වාර්තා වූ ඉහළම උද්ධමන අගයද වෙයි.

මෙම නව සහත සැලසුම ඉදිරි වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. විදුලිබල සහ ඉන්ධන ඇතුළු ඉහළ බලශක්ති ගාස්තු අයකිරීම් හේතුවෙන් පීඩනයට ලක්ව සිටින අඩු ආදායම් පවුල්, කුඩා ව්‍යාපාර සහ විශ්‍රාම වැටුප් හිමිකරුවන් ඇතුළු මිලියන 5කට අධික සංඛ්‍යාවකට මින් සහන සැලසෙනු ඇතැයි පැවසෙයි. මේ අතර ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) මගින් එරට උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් සිය පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමට පසුගියදා පියවර ගත්තේය. එහිදී අනතුරු අඟවා සිටි එම බැංකුව උද්ධමනය හේතුවෙන් එරට ඵලදායිතාව අඩුවීමටත්, බලශක්ති මිල ගණන් ඉහළ යෑමට සහ කුලී මුදල් ඉහළ යෑමටත් හේතුවක් වනු ඇතැයි සඳහන් කර තිබුණි.