bader-adnath-death

ඊශ්‍රායල සිරකඳවුරකදී උපවාසයක යෙදුණු පලස්තීන ජාතික බාදර් අද්නාන් මරණයට පත් වූ බව ඊශ්‍රායල බලධාරීන් ඊයේ (02දා) අනාවරණය කළේය. පලස්තීනයේ ඉස්ලාමිය ජිහාඩ් සංවිධානයකට අයත් පුද්ගලයෙකු වන මොහු ත්‍රස්තවාදී චෝදනා යටතේ මෙලෙස සිරගත කර තිබුණි. අද්නාන් දැනට දින 87කට පෙරාතුව මෙම උපවාසය ආරම්භ කළ අතර, ඊයේ දිනයේදී ඔහුගේ තත්ත්වය වඩාත් දරුණු වී තිබේ. ඒ අනුව ඔහු සිය සිරමැදිරිය තුළ සිහිසුන්ව සිටියදී හමුවී ඇති අතර, පසුව ඔහු රෝහල්ගත කිරීමට උත්සාහ ගත්තද,

ඔහු මරණයට පත් වූ බව ඊශ්‍රායල බන්ධනාගාර බලධාරීන් සඳහන් කර තිබේ.

ඊශ්‍රායලය පවසන ආකාරයට අල්තාන් තමන් සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිතව තිබූ වෛද්‍ය පරීක්ෂණ සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයෙන් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොලැබීම අල්තාන්ගේ මරණයට හේතුව වූ බව ඔහුගේ නීතීඥවරු චෝදනා කරති. මියයන විට 45 හැවිරිදි වියේ පසුවුණු අද්භාන් පලස්තීනයත් ඊශ්‍රායලයත් අතර බටහිර ඉවුරේ පිහිටි ජෙනින් නගරයේ උපන්නෙකි. ඔහු පලස්තීනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ජිහාඩ් සටන් සංවිධානයේ ක්‍රියාකරුවෙකු ලෙස පිළිගැනේ.

මේ අතර අද්භානිගේ මරණය සැලවීමත් සමග ඊශ්‍රායල ගාසා දේශසීමාවේ පලස්තීන වැසියෝ සිය ගණනින් විරෝධතා පවත්වා තිබේ.

ඒ අතරම ප්‍රදේශය තුළ සයිරන් නලා ශබ්ද ඇසුණු බවත් සඳහන් වෙයි. ඊශ්‍රායල හමුදා සදහන් කරන ආකාරයට මෙම මරණයෙන් පසුව ගාසා තිරයේ සිට ඊශ්‍රායල පාලන ප්‍රදේශය වෙත රොකට් ප්‍රහාර තුනක් එල්ල වී තිබේ. එහෙත් එම සියල්ලම විවෘත ප්‍රදේශ වෙත පතිත වී ඇත. අද්නානි  මීට පෙර 12 වතාවක් ඊශ්‍රායල අත්අඩංගුවට පත්ව ඇති අතර, වසර අටක කාලයක් ඔහු සිරගතව සිට ඇත. ටෙල්අවිච් නුවර වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත සහාය දැක් වීම ඔහුට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවයි. 2004 වසරේ සිට ඔහු සිරගත කෙරුණු අවස්ථා රැසකදීම ඔහු උපවාස පහකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇතැයිද වාර්තා පවසයි.