The-doctor-who-tried-to-kill-his-wife-by-injecting-too-much-insulin-was-arrested

 සිය බිරිදට ඖෂධ අධි මාත්‍රාවක් එන්නත් කිරීමේ සිද්ධියට අදාළ මඩකලපුව රෝහලේ සැකකාර වෛද්‍යවරයා පොළොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක සමඟ ඇසුරක් පවත්වාගෙන යන බවට කරුණු අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (15) කරුණු වාර්තා කළේය.

පොළොන්නරුව පදුරුව ප්‍රදේශයේ වෙසෙන මෙම කාන්තාවට පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සඳහා පණිවිඩ යවා ඇතැයි ද බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.



මෙම සිද්ධියේ වින්දිත කාන්තාව මේ වන විටත් කළුබෝවිල රෝහලේ කෝමා තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවත්, ඒ හේතුවෙන් මෙතෙක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. සැකකාර වෛද්‍යවරයාගේ මානසික වෛද්‍ය වාර්තා කැඳවා ඇතත් මෙතෙක් එම වාර්තා ලැබී නොමැති බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් මත ඇපයක් ලබාදෙන ලෙසට සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම ප්‍රති ක්ෂේප කළ අධිකරණය සැකකරු ලබන 25 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මෙලෙස වැඩිදුරට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මඩකලපුව රෝහලේ වෛද්‍යවරයකු වන බාවා මොහොමදු ශෙෆාන් නමැත්තාය.
නිමන්ති රණසිංහ