තම පවුලේ ආර්ථික දරිද්‍රතාව හමුවේ වෙනත් විකල්පයක් නැති තැන සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ආදිවාසි තරුණියක ඊයේ (3) උදෑසන ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඇය මහියංගණය, දඹාන, මුරුකුඹුර ගම්මා නයේ පදිංචි 24 හැවිරිදි ස්වර්ණ මල්කාන්ති නමැති තැනැත්තියකි. ඇයගේ පියා ඔත්පළව තම කුඩා නිවෙසෙහි සිටින අතර, ස්වර්ණාගේ සැමියා ඇය හැර ගොස්ය. වයස අවුරුදු 5ක කුඩා දියණිය පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නීය.
ස්වර්ණා මල්කාන්ති සිය මව සමග තම ජීවන අරගලය ගෙන යෑමට කොතෙක් උත්සාහ කළද අවසානයේ ගමේ විදේශ රැකියා තැරැව්කරු වකු වන කුලසේනගේ පිහිට සොයා යන්නට වු අතර, කුලසේන තමන් අවුරුදු 20ක් තිස්සේ දැනහඳුනන කොළඹ මරදානේ විදේශ රැකියා ආයතනයක් වෙත ඇය කැඳවාගෙන පැමිණි තිබේ. එහිදී ඇය සවුදි අරාබියේ ගෘහ සේවය සදහා යැවීමට කටයුතු සූදානම් කර තිබෙන භාර දුන්නාය. රැකියාවට යෑමට පෙර ඇයට රුපියල් ලක්ෂ 3ක මුදලක් දෙන බව පවසා තිබේ.
එහෙත් අවසානයේ ඇය වෙත එම රැකියා නියෝජිතවරයා දී ඇත්තේ රුපියල් 64,000ක මුදලක් පමණි.

කෙසේ වෙතත් ස්වර්ණා මල්කාන්ති, ඇඟේ අක්කා සමග මීට මාස දෙකකට පමණ පෙර සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.
මුලින්ම එරට දමාම් නුවර ගුරුවරියකගේ නිවෙසෙහි මාසයක් පමණ සේවයෙහි නිරත වුණි. මහල් 3කින් සමන්විත එම නිවෙසෙහි සිටින දරුවන් ඉතාමත් දඟකාර ක්‍රියාවල නිරත වන බැවින් ඔවුන් බලාගැනීම සහ නිවසෙහි අනෙකුත් වැඩි කිරීම අපහසු නිසා එම නිවෙසෙහි මාසයක් පමණ සේවය කිරී මෙන් පසුව ඉවත් වීමට අවශ්‍ය බව ඇය දන්වා ඇත. ඔවුන් ඇගේ මාසික වැටුප ගෙවා ඈව යළිත් සවුදි අරාබියේ රැකියා නියෝජිතවරයා වෙත යොමු කර ඇත.
ඉන්පසුව ඇයව යළිත් වෙනත් නිවෙසක වැඩට දමා ඇති අතර එම ගෙදරත් තට්ටු තුනක් හා ළමයින් 6 දෙනකු සිටින බව නිරීක්ෂණය විය. ඇය මෙසේ කියයි.
‘ඒ ගෙදර බාබා මොනවා හරි පොඩි රැකියාවක් කරන්නේ. මම උදේ පාන්දර නැගිටලා රෑ වෙනකම් වැඩ කරනවා. ඒ ගෙදර මැඩම් හරිම සැරයි. එයා නිතරම "කුකුළි, කුකුළි, සුරා, සුරා..." කියනවා. ඒ කියන්නේ ඉක්මනට ඉක්මනට වැඩ කරන්න කියලා. ඒ මදිවට මට නිතරම ගැහුවා.


එයා නිතරම පසින් ගහන්නේ මාව කොණ්ඩෙන් ඇදලා බිම දාල පාගනවා. මට මේ පසුගිය රාමසාන් උත්සව සමයේ තවත් ගෙවල් දෙකක වැඩට අරං ගියා. ඒ අතරෙ මැඩමගෙ අම්මගෙ ගෙදරත් වැඩ කරන්න වුණා. එහිදී එයාගෙ මල්ලී මට විවිධ යෝජනා කළා, බලපෑම් කළා. එහිදී මට අවස්ථා පහකදී පමණ සිහිය නැති වුණා. ඒ අවස්ථා වලදී ඔහු මගෙන් ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගෙන තියෙනවා. මීට අමතරව චොකලට් වගයක් දීලත් මාව සිහි නැති කළා, ඒ අය කියන්නෙ මාව මෝහනයට පත් කරනවා කියලයි. මට බැරිම තැන මම ඒ ගෙදර අයට කිවුවා මාව ලංකාවට යවන්න කියල. මම ගෙදරටත් මං විඳින දුක් ගැන කිවුවා. පස්සෙ  සවුදි අරාබියේ රැකියා ඒජන්සියට ගෙනත් භාර දුන්නා. එහිදී මට ඒජන්සිය භාර බාබා මට ගැහුවා. ඔළුවටත් ගැහුවා. ඒ සවුදි අරාබි ඒ ජන්සිය මාව ලංකාවට යවන්න රු. ලක්ෂ 20ක් ඉල්ලුවා.

ලංකාවේ ජේසීම් ඒජන්සිය මාව ලංකාවට ගෙන්වා ගන්න රුපියල් ලක්ෂ 10ක් ඉල්ලුවා.මගේ අක්කටත් වෙලා තියෙන්නෙ මට වුණ දේවල්මයි. ඒත් ඒවා ගෙදරට, ලංකාවට ලෝකයට කියන්න එයාට ෆෝන් එකක් නැහැ. මේ වෙනකොට එයා මරලද දන්නෙ නැහැ. අක්කටත් මගේ වයසෙ දුවෙක් ඉන්නවා. එයා යන්නෙන් ගුරුකුඹුරෙ ඉස්කෝලෙට, සවුදි අරාබියේ මේ වෙන කොට අහිංසක මිනිස්සු ළමයි දාල ඇවිත් ගොඩක් දුක් විඳිනවා”
යැයි ස්වර්ණ අවසාන වශයෙන් පැවසුවාය.
ස්වර්ණා මල්කාන්ති ඊයේ (3) උදෑසන 09.05ට ගල්ෆ් ගුවන් සේවයේ පිටෆ් 147 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබූ අතර, ඇය මේ පිළිබඳව කටුනායක ගුවන් තොටු පොළ පොලිසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව, මහියංගණය රෝහලෙහි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා බස් රථයකින් පිටත්ව ගියාය.

කටුනායක ටී.කේ.පී. කපිල