ත්‍රිමාන මුද්‍රණ (3D Printing) තාක්ෂණය යොදා ගනිමින් ලොව ඉදිකරන පළමු වැනි පල්ලිය එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරදී ඉදිකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඩුබායි රජයේ ඉස්ලාමීය කටයුතු සහ පුන්‍ය ක්‍රියාකාරකම් දෙපාර්තමේන්තුවේ (IACAD) ඉංජිනේරු ප්‍රධානියා වන අලි මොහොමඩ් අල්හල්යාත් අසුවායිදි පසුගියදා මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. මෙහිදී අදාළ පල්ලිය මහල් දෙකකින් යුක්ත වන අතර, වන්දනාකරුවන් 600කට එකවර රැදී සිටිය හැකි ආකාරයට එය ඉදිකෙරේ. දැනටමත් මෙම ත්‍රිමාන මුද්‍රිත පල්ලියෙහි ත්‍රිමාන සැලැස්ම ප්‍රසිද්ධියට පත්කර තිබේ. කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා ගනිමින් ගොඩනැගීමට සැලසුම් කර ඇති මෙම පල්ලියෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමත්, 2025 වසරේ පළමු කාර්තුව වනවිට එහි ඉදිකිරීම් අවසන් කිරීමත් අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන IACAD හි ප්‍රධානියා, "මෙම පල්ලිය ඉදිකිරීම සදහා අපි ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගැනීමට තෝරා ගත්තේ එය අලුත් සහ නවෝත්පාදන තාක්ෂණයක් වීමයි. මේ හරහා අපිට සාම්ප්‍රදායික ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ක්‍රමවේදය යොදා ගැනීමට සාපේක්ෂව ගතවන කාලය වගේම සම්පත් ආරක්ෂා කරගැනීමටත් හැකිවෙනවා.” යැයි පවසයි.
කෙසේ වෙතත්, මෙම පල්ලිය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදෙන සමාගම පිළිබඳව එම ආයතනය මෙතෙක් අනාවරණය කර නැතැයි සදහන් වෙයි.
දැනටමත් ලොව මෙවැනි ආකාරයේ ත්‍රිමාන මුද්‍රිත ගොඩනැගිලි බොහෝමයක්ම ඉදිකර තිබේ. එහිදී ඒ සදහා විශාල ප්‍රමාණයේ ත්‍රිමාන මුද්‍රිත යන්ත්‍ර වුවමනා වෙයි. අදාළ ගොඩනැගිල්ලේ නිර්මාණය පිළිබඳ තොරතුරු යම් වැඩසටහනක් හරහා මෙම යන්ත්‍රයට ලබාදෙමින් එම ඉදිකිරීම් කටයුතු සිදු කරයි. තට්ටු ලෙස ඉදිකෙරෙන ගොඩනැගිල්ල සදහා වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ කොන්ක්‍රීට්ය. එම යන්ත්‍රයේ ඇති නොසලයක් මාර්ගයෙන් එම කොන්ක්‍රීට් පිටතට පැමිණීම සිදුවෙයි. ඊට අමතරව, මැටි යොදා ගනිමින්ද ගොඩනැගිලි මුද්‍රණය කළ හැකිය. අනාගතයේදී ලොව ත්‍රිමාන මුද්‍රන අගනුවර බවට ඩුබායි නගරය පත් කරගැනීමේ සැලසුම් යටතේ මෙම නව ඉදිකිරීම් සිදු කෙරෙන බව පැවසෙයි. 2018 වසරේදී ඩුබායි නගරය සිය 'ත්‍රිමාන මුද්‍රණ උපායමාර්ගය' සැලසුම් කළ අතර, වසර 2030 වන විට ඩුබායිහි නව ඉදිකිරීම් අතරින් 25%ක්ම ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් සිදු කිරීමත් සැලසුම වී තිබේ.
මේ අතර, 2019 වසරේදී ඩුබායි නුවර ලොව විශාලතම ත්‍රිමාන මුද්‍රිත ඉදිකිරීමේ වාර්තාවද තැබූ අතර, එහිදී වර්ග මීටර් 640ක විශාලත්වයෙන් යුත්, මීටර් 9.5ක් උස ඩුබායි නගරසභා ගොඩනැගිල්ලක් ඉදි කෙරිණි. එසේම ලොව පළමු ත්‍රිමාණ මුද්‍රිත කාර්යාලය සහ ත්‍රිමාන මුද්‍රිත ඩ්‍රෝන පර්යේෂණ විද්‍යාගාරයත් පිහිටා ඇත්තේ ඩුබායි නගරයේය.ඩුබායිහිදී ඉදිකෙරෙන මෙම ත්‍රිමාන මුද්‍රිත පල්ලිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින නෙදර්ලන්තයේ එයින්ඩ්හොවෙන් විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් පරිසර පිළිබඳ දෙපාර්තමේන්තුවේ පීඨාධිපති තියෝ සාලේට්, මෙය ත්‍රිමාන මුද්‍රිත ගෘහනිර්මාණයේ මීළඟ අදියර බව පවසා තිබේ. එහෙත් එය බොහෝ අභියෝග වෙත මුහුණදෙනු ඇතැයිද ඔහු පවසයි.
"ඩිජිටල් නිර්මාණ සහ ඉදිකිරීම් කාලය ඉතිරි කරනවා. ඒ වගේම ඉදිකිරීම් වියදම් සහ ඉදිකිරීම් නිසා ඇතිවන වැරදි අඩු කරනවා. මීට අමතරව, ඉදිරියේදී ඉදිකිරීම් සේවකයන්ගේ පවතින අඩුව පිළිබද ගැටලුවත් මින් මගහරිනවා, ඊටත් වඩා මේ ඉදිකිරීම් ක්‍රමය හරහා අපට තිරසාරත්වය මත පදනම් වූ නිර්මාණ පිළිබඳව නැවත අවධානය යොමු කරවනවා.” යනුවෙන් සදහන් කරයි.
0 Comments