bogahawewa-tissamaharama

තිස්සමහාරාම, බෝගහවැව රක්ෂිතයට අයත් අමරවැව ප්‍රදේශයේ මැණික් ඉල්ලම් සොයා දැඩි පරිසර විනාශයක් කර ඇතැයි පරිසරවේදීහු පවසති. බැකෝ යන්ත්‍ර යොදා සිදුකරන මෙම කැණීම් හේතුවෙන් විශාල පාරිසරික ගැටලුවක් සිදුවී ඇති අයුරු එහි ගිය අපට දැකගන්නට ලැබිණි. පාරම්පරික පතල් කර්මාන්තකරුවන් පරිසරයට කිසිදු  හානියක් නොවන ආකාරයට මෙම කර්මාන්තය කරගෙන ගිය අතර ජාවාරම්කරුවන් පැමිණ පරිසරය වනසමින් ඉල්ලම් සෙවීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ නිලධාරීන් ද වගකිය යුතු බවට පාරම්පරික පතල් කර්මාන්තකරුවෝ චෝදනා කරති.

කැලෑ වනසමින් ජාවාරම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට එම ඉල්ලම් ඔවුන් ලවා සෝදවා වන සංරක්ෂණ නිලධාරීන් වටිනා මැණික් රැගෙන යන බව ද ඔවුහු පවසති.

නිල් මැණික්, පද්මරාග සහ ගෙවුඩ ආදී මැණික් වර්ග මෙම ප්‍රදේශයෙන් හමුවන බව ද පාරම්පරික පතල්කරුවෝ පවසති. අක්කර 700 කින් පමණ සමන්විත මෙම බෝගහවැව රක්ෂිතයේ අක්කර 10 ක පමණ ප්‍රදේශයක තැනින් තැන ඉල්ලම් හාරා විනාශ කර ඇතැයි ඔවුහු සඳහන්  කරති. බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ඇතැම් විශාල ගස් යටින් හාරා ඉල්ලම් ලබාගෙන ඇති අයුරු එහි ගිය අපට දැකගන්නට ලැබිණි.

ඒ අතර, ඇතැම් ස්ථානවල වනාන්තර කපා ඉඩම් කොල්ලකෑමේ ජාවාරමක් ද සිදුකරන බවත් අක්කර හතරක පමණ ප්‍රදේශයක ගස් කපා එසේ අල්ලාගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. තිස්සමහාරාම මොරවක ප්‍රදේශයේ මෙම වනාන්තර විනාශ කර ඉඩම් අල්ලා ඇති බව ඔවුහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ප්‍රදේශවාසියකු වන ප්‍රින්ස් සුසෙන්ද්‍ර මහතා මෙසේ පැවැසීය. අනවසර පතල් ජාවාරම්කරුවන් හා ඉඩම් ජාවාරම්කරුවන් සමග වන සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධකම් පවත්වන නිසා ගැමියන්ට හේනක් කොටා ගන්නත් ඉඩ දෙන්නේ නෑ.



හේනක ළඳු කැලෑවක් කපන කොට වන සංරක්ෂණ නිලධාරීන් ඇවිත් ඔවුන් අත්අඩංගුවට ගන්නවා, නැතින්ම අක්කරයකට රුපියල් දහ පහළොස් දාහක් ඉල්ලනවා. හේනක් කොටන්නවත් අපට අවසර නැති වුණාට ජාවාරම්කරුවන්ට යන්ත්‍ර යොදා අක්කර හත අට සුද්ධ කර විකුණනවා. නැතිනම් හෝටල් හදනවා. ඒවාට කිසිම නීතියක් නෑ. මේ සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ ප්‍රධාන කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසීමකදී ඔහු මෙසේ පැවැසීය. පාරම්පරික පතල්කරුවන්ගේ චෝදනාවට ලක් වූ නිලධාරියකු මේ වන විට වෙනත් ප්‍රදේශයකට මාරු කරලා. මොරවක ප්‍රදේශයේ මෙම හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නැහැ. ඒ සම්බන්ධයෙන් සොයා බලනවා යැයි ඔහු කීවේය.

අමිල සම්පත් ශ්‍රී